» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/07/2025 - ඉරිදා ලංකාදීප
රජයේ සේවය සම්බන්ධයෙන් බරපතල පරිවර්තනයක්

පරිපාලන සේවය හා එයට අනුබද්ධ රාජ්‍ය සේවා පද්ධතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. පරිපාලන සේවයෙහි ආරම්භය වසර දෙසිය විසි පහකටත් එපිට කාලයක් දක්වා විහිදේ. බි්‍රතාන්‍ය පාලකයෝ ලංකාව පාලනය කිරීම සඳහා ස්වදේශිකයන් අතරින් දක්ෂ කණ්ඩායමක් තෝරාගත් අතර ඔවුන් පුහුණුකර රාජකාරි පැවැරීය. අධිරාජ්‍යයට අවශ්‍ය නියෝග ඔවුන්ලවා ක්‍රිියාත්මක කළේය. වැසියන් හා සිවිල් නිලධාරීන් අතර පැලැන්ති පරතරයක් තිබුණි. දක්ෂ ලෙස අධ්‍යාපනය අවසන් කරන ලද කොටසක් මෙහි සේවයට එක් වූ අතර සිවිල් සේවයේ නිලධාරීන් පවුල්වලට සම්බන්ධ කරගැනීමට මෙරට ධනවත් පවුල් වෑයම් කළ බව ඉතිහාසය අනාවරණය කරයි. ධනවත් පවුල් ඔවුන්ගේ සමාජ පෙලැන්තිය දිනා ගැනීම අරමුණු කරගෙන තරුණ දියණිවරු සිවිල් සේවයේ නිලධාරීන්ට විවාහ කර දී ඇති අතර විවාහයෙන් පසු නිලධාරීන් ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත්වීම ආණ්ඩුවේ සේවය සඳහා කදිම ආවරණයක් සපයා තිබුණි.

සිවිල් සේවය පසුව පරිපාලන සේවය බවට පරිවර්තනය වූ අතර ජනරජ ව්‍යවස්ථාව සමග මහජනතාවට සේවය කරන පුලුල් රජයේ සේවයක් ස්ථාපිත කෙරිණ. පැරණි නිලධාරීවාදය තරමක් වෙනස් වූ අතර මහජනතාවට සේවය කරන සේවක කණ්ඩායමක් වශයෙන් යළි අර්ථ ගන්වන ලදී. පසුකාලීනව සේවයට බඳවා ගැනීමේ ක්‍රම, නිලධාරීන්ගේ පහසුකම් හා රජයේ මැති ඇමැතිවරු ක්‍රියාකරන ලද පිලිවෙල පරිදි වටිනාකම් ගිලිහී ගොස් තිබේ. වර්තමානයේ දී මෙරට පොදු ජනතාව තුළ රජයේ සේවය සම්බන්ධයෙන් විසඳාගත යුතු ගැටළු ගණනාවක් ඇත.

ශ්‍රී ලංකාව වැනිකුඩා රටකට ඔරොත්තු නොදෙන තරමට විශාල රජයේ සේවක සංඛ්‍යාව එහි ප්‍රධාන එකකි. මහජනතාවගෙන් අය කරන බදුවලින් වැඩිම කොටසක් රජයේ සේවයේ වැටුප්, පහසුකම් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කෙරේ. කෙසේ නමුත් එදිනෙදා රාජකාරි කටයුතු කරගැනීමේ දී ඇතිවන අපහසුතා හේතුකොටගෙන ජනතාව විඳින හිරිහැර එහි තවත් කොටසකි. ඇතැම් නිලධාරීන් ගේ අකාර්යක්ෂමතාව සහ තීරණ ගැනීමේ දුබලතාව සංවර්ධන කටයුතුවලට බරපතල බාධාවක් වී තිබේ. නිලධාරීන්ගේ තීරණ අනුව කරන වැඩකටයුතු ඊළඟ ආණ්ඩුවක් ප්‍රශ්නකර අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගෙනයන අවදානම ඉදිරියේ එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව ද සඳහන් කළ හැක. නිලධාරීන් සම්බන්ධ කරන දූෂණ හා වංචා සිද්ධි ඉතා කණගාටුදායකය. අල්ලස් හෝ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දේශපාලනඥයන් හා සමානව නිලධාරීන්ට ද චෝදනා ඇත. එවැනි වටපිටාවක් දියුණු වන රටකට කිසිසේත් සුදුසු ස්වභාවයක් නොවේ.

කාර්යක්ෂමව ඉතා වේගයෙන් කටයුතු කිරීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමකි. සංවර්ධන සැලසුම් සඳහා දිගකාලයක් වැය කළ නොහැක. ලෝකයේ පවතින තරඟකාරීත්වය තියුණුය. එහි දී විශාල පිරිසක් වෙනුවට කුඩා කාර්යක්ෂම කණ්ඩායමක් ප්‍රමාණවත්වීම අලුත් ප්‍රවණතාවයකි. එම පිරිස ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර ව්‍යාපාර පුද්ගලික අංශයට පැවරේ. නොයෙක් රටවල රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය වෙමින් තිබේ. මෙහි ආරම්භය 1980 ගණන්වල මැද භාගය දක්වා ඈතට විහිදේ. ජර්මනිය, බි්‍රතාන්‍ය, ප්‍රංශය හා ඇමරිකාව නිෂ්පාදන හා සේවා අංශවලින් ඉවත්විය. යකඩ, ඛනිජ තෙල්, රථ වාහන, මිනිරන්, ගල් අඟුරු වැනි ක්ෂේත්‍ර පුද්ගලීකරණය එයින් ප්‍රධානය. ජලය, විදුලිය, තැපැල්, දුම්රිය, වරාය, ගුවන් සේවා, බැංකු, රක්ෂණ, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර පමණක් නොව මහා මාර්ග පවා රජයේ පාලනයෙන් බැහැර කළේය. මෙම තීන්දු හේතු කොටගෙන එම අංශවල ජාතික ප්‍රතිපත්ති ගැන පර්යේෂණවලට ආණ්ඩු නැඹුරු වූ අතර එදිනෙදා කටයුතු කරගෙන යන වගකීම පුද්ගලික සමාගම්වලට පැවැරිණ. එමගින් වියදම අඩු, තරඟකාරී සහ නිර්මාණාත්මකබවක් සමාජ ක්‍රමය තුළ ඇති විය. විරෝධතා සහ වර්ජන වෙනුවට මහජනතාවට කැමැති තැනකින් සේවය ලබාගත හැකි පරිදි රාමුව වෙනස් කෙරිණි. ශ්‍රී ලංකාවේ ද මෙම පහසුව යම් යම් ක්ෂේත්‍රවල අර්ධ වශයෙන් සිදු වී තිබේ. සන්නිවේදන, රක්ෂණ, බැංකු, වරාය සේවා, ඉන්ධන බෙදාහැරීම, සෞඛ්‍ය, අධ්‍යාපන හා බස් මගී ප්‍රවාහනය ඇතුළු අංශ ගණනාවක් ඒ අතර ඇත. මෙකී අංශවල රජයේ සේවයේ මැදිහත්වීම පැවැතීම එනම් රජයෙන් අත්හරින්නට ආණ්ඩුවලට ඇති අකමැත්ත හේතුකොටගෙන මහජනතාවට වාසියක් නැත. රජයේ සේවය ද විශාලය. එය තුළ අක්‍රමිකතා සහ දූෂණ ද බහුලය.

විශාල කණ්ඩායමකට වැටුප් ගෙවීමේ දුෂ්කරතාව ඉදිරියේ රජයේ සේවකයන් ගේ ආදායම අඩුය. පරිපාලන සේවය, රජයේ ඉහළ නිලධාරීන් හොඳ ආදායමක් ලැබිය යුතුවේ. පුද්ගලික අංශයේ විධායක මටට්ම හා සමාන සමාජ තත්ත්වයක් ලබාගැනීමට නොහැකි අවස්ථාවක ප්‍රශ්න මතුවේ. ඇතැම් ක්ෂේත්‍රවලට අදාල රජයේ සේවකයන්ට බාහිර කටයුතුවල යෙදෙන්නට නොනිල අවසරයක් ඇත. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ ගුරුවරුන් ඇතුළු සියළුම දෙනා බාහිර සේවාවලින් උපයන්නෝය. පුද්ගලිකව වැඩකිරීමට නැඹුරුව තුළ මහජනතාවට කළ යුතු සේවය හා කැපවීම නැත. සිංගප්පූරුව දිුයණු කරන එහි නිර්මාතෘ ලී ක්වාන් යූ මෙම පැති ගැන අවබෝධයෙන් සිටියේය. හෙතෙම රජයේ සේවකයන්ට ඉහළම වැටුප් ගෙවීය. මැති ඇමැතිවරුන්ට ද එම පහසුකම ලැබුණි. ලී ක්වාන් යූ වැඩිම වැටුප් ලැබූ අගමැති වූ අතර දූෂණයෙන් තොර හා සීමිත වත්කම් සහිත පුද්ගලයෙකු ලෙස ඉතිහාසයට එක්විය. අඩු වැටුප් ගෙවන පසු දක්ෂතම පිරිස රජයේ සේවයට එක් නොවන බව ලී ක්වාන් යූ කියා සිටියේය. රටකජු විසි කළහොත් වඳුරන් බව ඔහු ගේ දර්ශනය වී තිබුණි.

බාහිර ආදායම් මාර්ග රහිත ඇතැම් කොටසක් සිය මුදල් අවශ්‍යතා පදනම් කරගෙන සුළු ප්‍රමාණයේ සිට මහා පරිමාන දක්වා දූෂිත කටයුතුවලය. දැනට වාර්තා වන පරිදි මෑත කාලය තුළ වාර්තාගත පිරිසක් අල්ලස් චෝදනාවලට ලක්ව තිබේ. අල්ලස් වැටලීම් හා සමානව රජයේ සේවය හා ඔවුන් මුහුණ දී ඇති ඉරණම ද සැලකිල්ලට ගත යුතුය. මෙම අභ්‍යන්තරය විසඳාගැනීමෙන් තොරව ඉදිරි ගමනක් රටට නැත.

කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමෙන් පසු නැවත වටයකින් තරඟකාරීත්වයට ඇතුළුවීම සඳහා රටවල් අතර සැලකිය යුතු ප්‍රයත්නයක් තිබේ. ඩිජිටල් තාක්ෂණික ක්‍රම හා කෘතීම බුද්ධිය සඳහා විශාල ආයෝජනයක් සිදුවේ. එයට සමාන්තරව රජයේ සේවය කුඩා හා කාර්යක්ෂම කරන ප්‍රතිපත්ති අනුගමනය කෙරේ. ඇමරිකාව යළි ඉහළට ඔසවන සැලැස්ම තුළ වත්මන් ජනාධිපතිවරයා එරට රජයේ ආයතන, රජයේ සේවක පිරිස් සීමාකරන තීරණයක් ගෙන තිබුණි. අධිකරණයේ මැදිහත්වීම තුළ එය නතර වී ඇත. බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජපානය, ජර්මනිය, ආර්ජන්ටිනාව ඇතුළු රටවල් දැනටමත් ඒ බව ප්‍රකාශයටපත් කර තිබේ. ශ්‍රී ලංකාව එහි අනෙක් පැත්තකට ගමන් කරමින් සිටී. දැනට සිටින පිරිසට අමතරව දහස් ගණනින් බඳවා ගැනීමේ සූදානමක් තිබේ. අවසානයේ දී රජය නඩත්තු කිරීමේ වගකීම ජනතාවට පැවැරෙන අතර ඔවුන්ගෙන් අයකරන බදු තව තවත් වැඩි කෙරෙන අවදානමක් ඇත. අතීතයේ සිදු වූ අවාසි හා වැරදීම්වලින් පාඩමක් ඉගෙනගත යුතුව තිබේ. ලෝකයේ අනෙක් රටවල් ගන්නා තීන්දුගැන පරීක්ෂාකාරීව සිටිය යුතුවේ. ලෝකයේ අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටියහොත් රටට ගමනක් ඇත. එය පහසු නැත. අමාරු, දුෂ්කර තීන්දු ගැනීමකි. අවසානයේ දී මහජනතාවගේ ජීවන මටට්ම උසස් කළ හැකිවේ. සමාජය අලුත් යුගයකට ඇතුලු කළ හැකි වනු ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.