ඇමරිකා එක්සත් ජනපදය අලුතින් පනවන ලද බදු ප්‍රතිශත ලෝකය පුරා සැලකිය යුතු ආන්දෝලනයක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් බදු ප්‍රතිශත වෙනස් කරගැනීමේ ක්‍රියාවලියක නිරත වූ අතර යම් ප්‍රමාණයක වාසි ලබාගෙන තිබේ. ආනයන අපනයන සම්බන්ධ පරතරය සහ ඒවායේ විෂමතා සම්බන්ධ සම්ප්‍රදායික ඉලක්කම් ආකෘතියෙන් ගැලවිය යුතුය. ජාත්‍යන්තර වෙළඳාම සංකීර්ණය. වේගයෙන් වෙනස් වේ. ඉලක්කම් එය තාක්ෂණික කරුණක් වන අතර වෙළඳ දර්ශනය වැදගත්ය.
ඇමරිකාව පනවන ලද තීරු බදු, සමාන්තර බදු හෝ ඒවාට උත්තර වශයෙන් තව තවත් බදු ගැන කරුණු සෙවීම වෙනුවට මෙහි අභ්‍යන්තරය සලකා බැලිය යුතුවේ. ඇමරිකානු ජනාධිපතිවරයා ගේ තීන්දුව සරලය. ඇමරිකානු ආර්ථිකයේ අවස්ථා, ලෝකයේ අනෙක් රටවල් අසමාන සේ ප්‍රයෝජනයට ගනිමින් සිටී. ජනාධිපතිවරණයේ දී ද, හෙතෙම එය අවධාරණය කළේය. ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා හා නිව්යෝක් ප්‍රදේශවල රෙදිපිලි නිෂ්පාදන කම්හල් වැසී ඇත. ප්‍රශ්නයක් වී තිබේ. ඩිට්ට්‍රොයිට් හි ප්‍රධාන වාහන නිෂ්පාදන ආයතන ගණනාවක් වසා දමා තිබේ. අනෙක් රටවලින් අඩු මිලට වාහන ගෙන්වන පසු මෙම තත්ත්වය උද්ගත වී ඇත. ජනාපධිතිවරණයෙන් පසු සම්පූර්ණ පරිවර්තනයක් කරන අතර ඇමරිකාව නැවත ඔසවා තබන බව හෙතෙම අවධාරණය කළේය. වෙළඳ පරතරය අහෝසි කර ඇමරිකාවට ධනය උපයාගැනීමට සැලැස්මක් වශයෙන් බදු වැඩිකරන තීරණය යෝජනා කර තිබේ. වෙනත් රටවල නිෂ්පාදන ඇමරිකාවට ගෙන්වන අතර ඇමරිකානු නිෂ්පාදන එම රටවල් මිල දී ගැනීමේ දී අය කරන රේගු බදු සලකා අතිරේක පදනම් බද්දක් එම ආනයන සඳහා පැනැවීම එහි ප්‍රතිපලයකි.
ඇමරිකානු ජනාධිපතිවරයා ගේ ආකල්ප ඔහු ගේ පසුබිම අනුව පෙළ ගැසී තිබේ. ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකි. ගනුදෙනු කලාව ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබේ. වෙළඳ පොල හැසිරීම මැනැවින් අධ්‍යයනය කර ඇත. අසූ ගණන්වල ට්‍රම්ප් පළ කරන ලද “ආර්ට් ඔෆ් ද ඩීල්” නමැති කෘතිය එයට සාක්ෂියකි. ජනාධිපතිවරයා ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ප්‍රජාව ඔහුගේ පොත කියවා ඔහුගේ තීරණ ගැනීමේ කලාව අවබෝධ කරගනිමින් සිටී. පාලකයෙකු වශයෙන් රටක් ඉදිරියට ගෙන යන අතර ව්‍යවසායකත්ව රාජ්‍ය ගැන අවබෝධයක් ඔහුට තිබේ. මලයාසියාවේ හිටපු අගමැති මහතීර් මොහමඩ් මහතා ද තරුණ දේශපාලනඥයන්ට අවවාද කිරීමේ දී ව්‍යවසායකත්ව උපදේශය භාවිතා කළේය. ‘රටක් භාරගැනීමට කලින් ව්‍යාපාරයක් හරියට කරන්න’ මහතීර් ගේ අවවාදයක් වී තිබුණි. රටක ආර්ථිකය හැසිරවීම, සම්පත් උපයෝගී කරගැනීම, තරඟයට මුහුණදීම, ඉක්මනින් තීරණගෙන හොඳම අවස්ථා දිනාගැනීම ව්‍යවසායයක් හසුරුවන අයවලුන් දන්නා කරුණු අතර තිබේ.
ලෝකයේ ඇතැම් දේශපාලන නායකයන් මහජන කැමැත්ත දිනාගත් නමුත් රටක් පාලනය කිරීමේ දී මුලික අංශ බැහැර කිරීමෙන් පාඩම් ඉගෙන ගෙන තිබේ. ට්‍රම්ප් දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු නොවෙන්නට ඉඩ තිබේ. ඇමරිකාව තැනූ ජාත්‍යන්තර ආර්ථික පසුබිම තුළ අහිමි වූ අවස්ථා ගැන අවධානය යොමු කර ඇති ඇමරිකානුවන් කැළඹීමක් කර රට නැවතත් ඔසවා තැබීමට හැකි චරිතයක් වශයෙන් ඔහු තෝරාගෙන තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ගන්නා තීන්දු සලකාබැලීමේ දී එම අවබෝධය අවශ්‍යය.
ඇමරිකානු බදු සමග ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සමගම අවස්ථා ද ලැබේ. ගතානුගතික ස්වභාවය අභියෝග දෙස බැලීමය. අලුතින් ඇති කෙරෙන අවස්ථා ගැන අවධානය එයට වඩා ප්‍රායෝගිකය. ඇමරිකානු බදු බරපතල ගැටලුවක් වශයෙන් දැකීම වෙනුවට එම අභියෝගය තවත් අවස්ථාවක් බවට හරවා ගත යුතුවේ. ලෝකයේ අනෙක් වෙළඳ පොල තිබේ. එම රටවලට අපනයනය කිරීමේ දී බලපාන පැති සොයා බැලිය හැකිය. කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශවල කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්න තිබේ. තරඟකාරීත්වයට මුහුණදීම අපහසුය. අනෙක් රටකට වඩා තත්ත්වයෙන් උසස් අඩු මිල ගණන් සහිත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අවශ්‍යය. එයට බාධා සිදුවන අංශ සමාලෝචනය කිරීම වැදගත්ය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණයක් නැත. පැතිකඩ කිහිපයකට සීමා වී තිබේ. අධිරාජ්‍යවාදී කාලයේ දී ඔවුන් ගේ රටවලට අවශ්‍ය දේ මෙහි නිපදවා අපනයනය කළ අතර එම කාර්යයෙන් බැහැර වී නැත. පසුගිය දශක හතර ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියනයක සීමාවට ළඟාවිය හැකි අලුත් අපනයන අංශයක් හඳුනාගෙන නැත.
දෙවැනි යුද්ධයට පසු ඇමරිකා එක්සත් ජනපදය ලෝක ආර්ථිකයේ විවෘත භාවයක් ඇති කළේය. බි්‍රතාන්‍ය, ජපානය ඇතුළු රටවල් විවෘත ආර්ථිකයට එකතු වූ අතර සිතල යුද්ධයේ දී එය ස්ථාවර කෙරිණ. එම අවකාශය අනුව අලුත් අපනයන අංශවලට ඇතුල්විය යුතුව තිබුණි. චීනය සිංගප්පූරුව, තායිලන්තය හෝ තායිවානය වැනි රටවල් එම අවස්ථා ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන ව්‍යාකූලතා සහ පසුව ඇති වූ ත්‍රස්තවාදය ඒ සඳහා බලපාන්නට ඇත. නමුත් අලුතින්, අලුත් ආකල්ප අනුව ක්‍රියා කරන අවස්ථාවක් උදා වී තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා බදු පනවන පසු බි්‍රතාන්‍ය ගිවිසුමකට ඇතුළු විය. වියට්නාමය ආනයනික ඇමරිකානු භාණ්ඩවල තීරු බදු අහෝසි කළේය. ඉන්දුනීසියාව ද ආනයනික බදු අඩු කර එරටින් මිල දී ගන්නා ප්‍රමාණය වැඩි කර තිබේ. ඉන්දියාව ද මේ හා සමාන තීන්දුවක් අනුගමනය කර ඇත. ශ්‍රී ලංකාව වැනි රටකට ඇමරිකාවෙන් ආනයනය කිරීම හෝ ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩවලට අයකර තීරු බදු බිංදුව දක්වා අඩුකිරීම පහසු තීන්දුවක් නොවේ. එහෙත් විකල්ප ගණනාවක් ඇත. ඒවා ක්‍රමානුකූලව හඳුන්වා දිය හැකිය. අලුත් අවස්ථා ඉලක්ක කරගෙන ආර්ථිකය තවත් වටයකින් විවෘත කිරීම එක පියවරකි. ලෝකයේ අනෙක් රටකට වඩා පහසු ආර්ථික පරිසරයක් තුළ ආයෝජන අවස්ථා ඇතිවන අතර එයින් සැලකිය යුතු අපනයන ආදායමකට මාර්ගය විවෘත වේ. සිංගප්පූරුව එම අවස්ථාව තෝරාගෙන ඇත. කුඩා රටක් එහෙත් ලෝකයේ ඕනෑම ආයෝජනයකට ඉඩ දෙන සහ ඕනෑම රටක් සමග ගනුදෙනු කරන ස්වභාවයක පසුවේ. වෙළඳාමේ දී ඇමරිකාව වෙළඳ වාසියක පසුවේ. සංචාරක, කර්මාන්ත හා සේවා අංශවල භූමි ප්‍රමාණය ඉක්මවන කීර්තිමත් වටපිටාවක් නිර්මාණය කරගෙන ඇත.
ශ්‍රී ලංකාව පැරණි ආකෘතියේය අපනයනය හා සමාන්තරව අලුත් ව්‍යුහ තෝරාගත යුතුව තිබේ. ශ්‍රී ලංකාව කලාපයේ වෙළඳ මධ්‍යස්ථානය බවට පත්කළ හැක. කේන්ද්‍රීය පිහිටීම අනුව නාවික හා ගුවන් සම්බන්ධතා දියුණුවට ඉඩ තිබේ. කොළඹ යා කරන ගොඩබිම් මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදිකළහොත් යුරෝපය හා අනෙක් පැත්තෙන් තායිලන්තය හරහා චීනය දක්වා වෙළඳ සබඳතා ඇති කළ හැක. ශ්‍රී ලංකාව වෙළඳ මධ්‍යස්ථානයකි. ඉතිහාසය එයට සාක්ෂි දරයි. සෑම රටකින්ම පාහේ වෙළඳුන් මෙරටට පැමිණ ඇත. කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරාය ප්‍රති අපනයනයට විවෘත කළ හැකි අතර කටුනායක ගුවන් තොටුපොල පුලුල් කිරීමෙන් කලාපයේ ගුවන් සබඳතා සඳහා මධ්‍යස්ථානයක් කළ හැකිවේ. එය සම්ප්‍රදායික අපනයන හැසිරවීම, ඒවාට ගෙවන බදු හෝ අපනයන දිරිගැන්වීම සඳහා ඇතිකරන යාන්ත්‍රණයට වඩා හාත්පසින්ම වෙනස්ය.
ලෝකයේ අනෙක් රටක පැවැත්ම අභියෝගයක් බවට පත්වන පසු එහි අවස්ථා නිර්මාණය කරගැනීම අවශ්‍ය කෙරේ. තාක්ෂණයේ දියුණුව, බලශක්ති අංශයේ පරිවර්තනය සමග දැනට පවතින මුහුණුවර වේගයෙන් වෙනස් විය හැකි බව උපකල්පනය කළ හැක. පිටරටට භාන්ඩ යැවීම, එම රටවලින් ගෙන්වා ගැනීම හා එම ආනයන හා අපනයන මත පනවන බදු වලින් ගැලවෙන ආකාරය වැනි පටු ආකල්පවලින් ඉවත්විය යුතු අතර වඩා පුලුල් දර්ශනයකට ශ්‍රී ලංකාව ප්‍රවේශ කළ යුතුව තිබේ. එය පහසු නැත. ඉතා දුෂ්කර තීන්දු ගැනීමට සිදුවේ. කෙටි කාලයක් ප්‍රශ්න මතුවන අතර එයින් සාමාන්‍ය ජනතාවට හිරිහැර ද විඳින්නට සිදුවනු ඇත. අවාසිය සිදුවන එම පිරිස තෝරාගෙන වෙනම සහන ප්‍රකාශයට පත් කරන අතර ජාත්‍යන්තරය සමග අලුත් වටයකින් පුලුල් පරාසයකින් කාර්යය ආරම්භ කළහොත් වෙනස්ම අවස්ථා අත්පත් කරගත හැකිය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.
මිලින්ද මොරගොඩ
|