» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/11/2017 - ඉරිදා ලංකාදීප
ලෙබනනය මුහුණ පා ඇති ඉරණම තේරුම් ගැනීමේ වැදගත්කම

ලෙබනන් අග‍්‍රාමාත්‍ය සාද් අල් හරෙයිරි පසුගිය දා සවුදි අරාබිය බලා පිටත්ව ගිය අතර රියාද් නගරයේ දී සවුදි රූපවාහිනියට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටියේය. නොවැම්බර් මස හතරවැනිදා එකී ප‍්‍රකාශය කරමින් මැද පෙරදිග තත්ත්වය උණුසුම් කළ හෙතෙම, නැවත ලෙබනනයට ගොස් එම ඉල්ලා අස්වීම ගැන ජනතාවට කරුණු දක්වන්නට කලින් ප‍්‍රංශය සහ ඊජිප්තුව යන රටවල ද සංචාරයක නිරත විය. ජාත්‍යන්තර තොරතුරු මෙම හදිසි ඉල්ලා අස්වීම ගැන සෑහෙන ප‍්‍රසිද්ධියක් දුන් බව දැක්විය යුතුය. හදිසි ඉල්ලා අස්වීමට පසුබිම් වූ සැබෑ හේතුව හරෙයිරි විසින් ප‍්‍රකාශයට පත් නොකරන ලද බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඉල්ලා අස්වීම ගැන හරෙයිරි අගමැතිවරයා සවුදි රූපවාහිනියට කරන ලද ප‍්‍රකාශය අතරතුර තම ජීවිතය ගැන ඇති බිය මතුකර පෙන්වා ඇති අතර ඉරානයට හා හිස්බුල්ලා සංවිධානයට ඇඟිල්ල දිගු කර කර තිබේ.

ලෙබනනය බටහිර ආසියානු රටකි. ඊට වසර හත් දහසකට වැඩි දීර්ඝ ලිඛිත ඉතිහාසයක් තිබේ. මැද පෙරදිග වානිජ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ගැනෙන අතර සිරියාව, ඊශ‍්‍රායල සහ සයිප‍්‍රසය අවට පිහිටි රටවල් වෙයි. එරට පුරවැසියන්ගෙන් සියයට පනස් හතරක් ක‍්‍රිස්තියානි වන අතර අනෙක් බහුතරය වන මුස්ලිම් ජන ගහනයෙන් සියයට විසි හතක් ෂියා ඉස්ලාම් වන අතර තවත් සියයට විසි හතක් සුනි ඉස්ලාම් ආගම අදහති. ෂියා සහ සුනි ආගම් අදහන පිරිස අතර පවතින දැඩි අන්තවාදී ස්වභාවය ලෙබනන රාජ්‍යයට තද බලපෑමක් වී තිබේ. ෂියා ඉස්ලාම් දේශපාලන හා මිලිටරි සංවිධානයකි. ෂියා ඉස්ලාම්වාදීන් ඉරානයෙන් පෝෂණය වෙයි. සුනී ඉස්ලාම්වරුන්ට අනුබල දෙන්නේ සවුදි අරාබියයි. ෂියා සහ සුනී ගැටුම් ලෙබනනයේ උණුසුම් සහගත තත්ත්වයට හේතු වී ඇත.

මෙම ආගමික ජන කොටස් අතර දීර්ඝ කාලයක් තිස්සේ නොසන්සුන්තාවයක් පවතී. ගැටුම් වලට වසර 1400 කට වැඩි ඉතිහාසයක් පවතින බව සඳහන්ය. අවට පිහිටි බලවත් රාජ්‍යයන් හි මැදිහත්වීම ලෙබනන දේශපාලනය ව්‍යාකූල කර ඇත. සවුදි අරාබිය හා ඉරානය ආගමික ප‍්‍රවේශයකින් කරන බලපෑම එයින් ප‍්‍රධානය. ගැටුම් වලින් සහ අවට බලවත් රටවල ඇඟිලි ගැසීම් හෙයින් හෙම්බත්වී සිටින ලෙබනන් වැසියන්, තමන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න යැයි විරෝධතා පළ කරනු පසුගිය කාලයේ දැක ගත හැකි විය. ඉල්ලා අස් වූ අගමැති හරෙයිරේ තමන් සතු අත්දැකීම් උපයෝගී කරගෙන මධ්‍යස්ථ පාලනයකට රට යොමු කරන්නට උත්සාහ කළ බව ජාත්‍යන්තර විචාරක මතයයි. හරෙයිරිගේ පියා 2005 දී අගමැති ධුරය උසුලමින් සිටිය දී ඝාතනය වූ බව මෙහි දී සදහන් කළ යුතුය. රටින් පිට ඉගෙනුම ලබමින් සිටි හරෙයිරි පසුව සවුදි අරාබියේ ව්‍යාපාර වල නිරත විය. ඉන්පසු 2016 දී රටේ පාලනය භාරගත් බව සඳහන්ය. එසේ නමුත් සවුදි අරාබිය ඔහුගේ පාලනයට කරන ලද බලපෑම මෙම ධුරයෙන් ඉල්ලා අස්වීම පෙන්නුම් කරන බව දැක්වෙයි. අගමැති හරෙයිරි සවුදි නායකයන්ගේ ඇනවුමකින් සවුදි අරාබියට පිටත් වූ අතර සල්මන් බින් රජු හමුවීමෙන් පසු ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

ලෙබනනයේ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම අවබෝධ කරගැනීමේ දී ඉරානය හා සවුදි අරාබිය යන රටවල් දෙක අතර පවතින සීතල යුද්ධය ද තේරුම් ගැනීම වැදගත්ය. මැද පෙරදිග නායකත්වය උදෙසා වන බල අරගලයෙහි පාපන්දුවක් බවට ලෙබනනය පත්ව තිබේ. ඉරානය සහ සවුදි අරාබිය ඛනිජ තෙල් සම්පත් සමග අති විශාල ධනයක් සහ බලයක් නිර්මාණය කරගෙන තිබේ. ඉරානය ඉස්ලාම් ආගමෙහි ෂියා පසුබිමකින් යුතුය. එහි ජනගහනයෙන් සියයට අසූවකට වඩා ෂියා නිකායට අයත්ය. ෂියාවරු සහ ලෙබනනයේ හිස්බුල්ලාහ් සංවිධානය අතර සමීප සබදතාවයක් තිබේ. හිස්බුල්ලාහ් දේශපාලන හා මිලිටරි ප‍්‍රවාහයක් වන අතර ලෙබනනය තුළ සෑහෙන බලයක් තිබේ. එයට අවශ්‍ය කරන අනුබලය ඉරානයෙන් සැපයෙන බව ප‍්‍රකටය. සවුදි අරාබිය ඉස්ලාම් ආගමෙහි සුනි නිකායට සම්බන්ධය. එරට වැසියන්ගෙන් සියයට අසූවකට වඩා ඉස්ලාම් සුනිවරුය. ලෙබනනයෙහි හිස්බුල්ලාහ් බලය දුර්වල කරනු සඳහා සවුදි අරාබිය යේ සුනී පාලනය බලවත් ප‍්‍රයත්නයක් දරයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලෙබනනයේ සුනි සහ ෂියා ආගමික කණ්ඩායම් අතර වරින් වර පැන නැගෙන සෑහෙන නොසන්සුන්තා තිබේ. වරක් සවුදි නායකයන් ෂියා සම්බන්ධය ඇති හිස්බුල්ලාහ්වරු යක්ෂයන් ගේ පක්ෂයක් ලෙස හදුන්වන ලද අතර සවුදියේ සහාය ඇති සුනී ඉස්ලාම්වරු ඊශ‍්‍රායලයටත් වඩා දරුණු යක්ෂයන් බව ඉරානය එයට පිලිතුරු වශයෙන් කියා තිබිණ.

ඇමරිකානු නව නායකත්වය සවුදි ආරබියට හිතවත් භාවය පෙන්නුම් කර ඇති අතර එය පදනම් කරගෙන බල අරගලයේ වාසිදායක තැනකට සවුදි අරාබිය පත්ව සිටින බව ද ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ලෙබනන් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සහ තමන්ගේ සම්බන්ධයක් නැති බව සවුදි අරාබිය ප‍්‍රකාශ කරයි. ඔහු නිදහස් මිනිහෙක් යැයි කියන සවුදි අරාබියාවේ ප‍්‍රධානීන් තීරණයට මැදිහත් වී නැති බව ජාත්‍යන්තරයට අඟවමින් සිටී.

අපේ අනාගතය අපට දෙන්න. අපේ වැඩ කරගෙනයන්නට අපිට ඉඩ දෙන්න යනුවෙන් ලෙබනනයෙන් නැගෙන ජනතා හඞ මෙහි දී අවධානයට ගත යුතුය. කුඩා රටක් වන ලෙබනනය අසල්වැසි ඉරානය හා සවුදි අරාබි රාජ්‍ය අතර බල අරගලයට මැදි වීම බරපතල ගැටළු මතු කර තිබේ. ලෙබනනය පාලනය කරගෙන යාමේ දී දේශපාලන කණ්ඩායම් සහ එම පිරිස මතු කරන මත පැන නැගෙන්නේ බලවත් රාජ්‍ය වල අනුදැනුම ඇතිව බව ඉතාමත් පැහැදිලිය. අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම සඳහා නිසි අවස්ථාවේ දී පියවර නොගතහොත් ඕනෑම රටකට මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය හැකිය. බලවත් රටවල් වලට මැදිවන කුඩා රටක පැවැත්ම සම්බන්ධයෙන් ලෙබනනය හොඳ උදාහරණයකි.

වර්තමානය අලූත් ලෝක ස්වභාවය මත නව ප‍්‍රවණතා පැන නැගෙන අවස්ථාවකි. බාහිර බලපෑම් මගින් ශ‍්‍රී ලංකාව අත් පත් විය හැකි තත්ත්වය ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාව එක පැත්තකින් ඉන්දියාව වෙත නැඹුරු වන අතර අනෙක් පැත්තෙන් චීනය සමග සම්බන්ධතා වැඩි දියුණු කරගෙන තිබේ. චීන ආයෝජන සිදුවන අතර ඉන්දියාව ද තරගකාරී ආයෝජන රටාවක් ශ‍්‍රී ලංකාවේදී අනුගමනය කරන බව නිරීක්ෂණය කළ හැකිය. ලෙබනනය වැනි අන්තවාදී ස්වභාවයක් ඇතිවිය නොහැකි නමුත් අවධානය වැදගත්ය. ජනතා නායකයන්ගෙන් තීක්ෂණ තීන්දු අපේක්ෂා කෙරේ. ශ‍්‍රී ලංකාව බාහිර ආක‍්‍රමණ ගැන ප‍්‍රමාණවත් අත්දැකීම් ඇති රටකි. නිදහස් ලංකාව කරා වෙළඳාම හා ආයෝජනය අරමුණු කරගෙන ලෝකයේ නොයෙක් තැන් වලින් පිරිස් පැමිණ ඇත. ඉන්දියාවෙන්ම පාණ්ඩ්‍ය චෝලි ආක‍්‍රමණ සිදුවිය. චීන සේනාංකයක් මෙරට පාලකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට තොරතුරු තිබේ. යුරෝපයෙන් පෘතුගීසි පැමිණ ලංකාවේ බලය අල්ලාගන්නට තැත් කරන ලද අතර එවකට සිටි රජවරු උපායශීලීව ලන්දේසි සහාය ගෙන එය ව්‍යවර්ථ කරන ලදහ. ලන්දේසින්ගේ සීමාව ඉක්මවන මැදිහත්වීම් සදහා බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ සහාය ලබා ගත් බව ඉතිහාසය දක්වයි. පෘතුගීසීන් කෝට්ටේ කරා කැටුව ගෙන ගිය ආකාරය එහි එක්තරා උපායයක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් ලංකාව බටහිරට යටත්වන තැනට පත්වීම පිටුපස රට තුළ පැවැති බෙදීම් බලවත් සාධකයක් වූ බව අමතක නොකළ යුතුය. රදල පිරිස අතර විවිධ පිල් බෙදී කණ්ඩායම් වශයෙන් වෙන්වීම සමග රට තුළ පැවැති අධිශ්ඨානය බිඳී යටත් වී ඇති බව පෙනේ. කුමන්ත‍්‍රණ සහ පාවාදීම් විජාතිකයන්ට අනුබලයක් විය.

එක්සත් බව ඉතාම වැදගත්ය. බාහිර බලපෑම් හමුවේ ශක්තිමත්ව මුහුණ දෙන්නට නම් එකමුතුව කි‍්‍රයා කළ යුතුය. බාහිර ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ප‍්‍රවාහය සමග එකතු වන අවස්ථාවක දේශපාලන වශයෙන් පවතින බෙදීම් රටට අවාසියකි. අනන්‍යතාවය වෙනුවෙන් නායකයන් අතර එකඟතාව අවශ්‍යය. ආගමික, ජාතික සහ දේශපාලනික වශයෙන් එක අරමුණක පිහිටීම වැදගත්ය. ශ‍්‍රී ලංකාව එක්තරා සීමාවක සිටින අතර එය තීරණාත්ම තැනකි. යථාවබෝධයකින් ක‍්‍රියා කිරීමෙහි වැදගත්කම ජාත්‍යන්තරය පෙන්වයි.