» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/12/2016 - දේශය
විප්ලවවාදියෙකු ගේ ගමනාන්තය

ෆිදෙල් කස්ත්‍රෝ ගේ අභාවය ලෝක වාසීන්ගේ සංවේගයට හේතු විය. ‘විප්ලවය දිගු කල් දිනේවා‘ කියුබාවේ හවානා නගයට එකතු වූ පිරිස් හඞ නගා කෑගසන්නට වූහ. ෆිදෙල් යන නම නැවත වතාවක් කියැවෙන්නට පටන් ගෙන තිබේ. කියුබානු විප්ලවීය පාලනය අතරතුර රටින් පලාගොස් තමන්ට අනන්‍ය ජීවිත ගොඩනගාගත් කියුබා ඩයස්පෝරාව ඔහුගේ අභාවය ගැන උද්දාමයට පත් ව සිටි බව සඳහන්ය. නමුත් ඔහු විප්ලවීය නායකයා වූයේ කියුබාවට පමණක් නොවේ. ඔහු ලෝකයේ පැවැති ඕනෑම විප්ලවයක සංකේතය විය. විප්ලවීය පරිවර්තනයක දී ඔහු ගේ දැක්ම අනුගමනය කළේය. නොදැනුවමත්වම නායකයා සහ මග පෙන්වන්නා බවට පත් වූයේ කස්ත්‍රෝය.

කස්ත්‍රෝ නොදන්නා අයත් දන්නා සංකේත දෙකක් තිබේ. එකක් ඔහුගේ අපූරු රැවුලය. අනෙක හවානා සුරුට්ටුවයි. සුරුට්ටුවක් නැති ඔහුගේ පින්තූර විරලය. සුරුට්ටුවක ආශ්වාදය ඇතිව පින්තූරයක පෙනී සිටින ෆිදෙල් අල්ජෙනාඞ්රෝ කස්ත්‍රෝ විප්ලවීය වෙනස තුළින් දැනෙන නිදහස ජාත්‍යන්තරයට විදහා දක්වන්නේ විශාල කතාන්දරයක් බව නිසැකය. කස්ත්‍රෝ හවානා සුරුට්ටුව හා බැඳෙන්නේ අහම්බෙන්ය. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයෙකු සුරුට්ටුවක් බොන අවස්ථාවක් නිරීක්ෂණය කළ හෙතෙම එය ගැන විමසිලිමත්විය. සාමාන්‍ය කියුබන් වැසියෙකු නිවසේ හදන සුරුට්ටුවකි. එතැන සොයා ගිය කස්ත්‍රෝ එම කුඩා වෑයම ලෝක ප‍්‍රකට ව්‍යාපාරික නමක් බවට පත් කරන පියවරට මුල පිරුවේය. කස්ත්‍රෝ මෙම සුරුට්ටු උරන බව දැනගත් කස්ත්‍රෝ විරෝධීහු මෙම කම්හල තියෙන තැන හා එයට වස විස එකතු කරන්නට පවා මහන්සි වූ බවට සාක්ෂි එකල අනාවරනය විය. කාලයක් තිස්සේ, එම සුරුට්ටු කම්හල පවත්වාගෙන ගියේ ඉතාම හොර රහසේය. එය කොපමණ කාලයක් රහසිගතව කරන ලද ව්‍යාපාරයක් වී ද යත් කියුබාවට පැමිණි රාජ්‍යතාන්ත‍්‍රිකයන් පවා තමන්ට ලැබුණු සුරුට්ටු තෑගි තවෙකෙකුට දෙන්නට පවා පෙළැඹුනේ 1982 වසරට පසුව බව සඳහන්ය.

කස්ත්‍රෝ විප්ලවය කළ ආකාරය හෝ එයින් කියුබාවට අත්පත් වූ ජය පරාජය නොයෙක් ආකාරයකින් ලියැවී තිබේ. ජාත්‍යන්තරයේද ඒ ගැන ඇති විග‍්‍රහ සියුම් සහ සංකීර්ණ ව්‍යුහයක් ගනී. ඡන්දයෙන් පත්වූ පසුව ඒකාධිපතියෙකු වූ බැසිස්ටා පාලනය පෙරලා දමා ලෝකයේ පැවැත්මට වෙනස් මගක් ඇති පාලන ක‍්‍රමයක් ඇති කරන්නට ෆිදෙල් කස්ත්‍රෝ සමත්විය. කස්ත්‍රෝ ගේ පාලනය ගැන රට තුළ විවේචන තිබුණි. බටහිර පාලකයන් කස්ත්‍රෝ සමය ප‍්‍රතිපත්ති වශයෙන් ගැටේ. විශේෂයෙන් ඇමරිකාව කස්ත්‍රෝ බලයෙන් පහ කර ක‍්‍රමය වෙනස් කරන බලවත් ප‍්‍රයත්නයක නිරතවූයේය. ඒ වෙනුවෙන් ගැටුම් ඇතිකරන ලද අතර ආර්ථික සම්බාධක පැනවීය. ලෝක ප‍්‍රජාව අතර සම්බන්ධතා අඩු කරන ලද නමුත් එක්තරා ආකාරයකට හිස ඔසවා ගෙන ඉන්නට හැකි ගරුත්වයක් කියුබානු පුරවැසියන්ට උදාකරන දෙන ලද බව නිසැකය. බලවත් පීඩනය ඉදිරියේ පවා ආර්ථික සහ සමාජ වශයෙන් සැලකිය යුතු ජීවන මටට්මක් උදා කළේය.

ට්‍රොස්කි, ලෙනින්, කස්ත්‍රෝ, චේගුවේරා කොමියුනිස්ට්, සමාජවාදය නැත්නම් විප්ලවය වැනි වචන ලෝකය පුරා විහිදෙන්නේ වෙනස් මතවාදයක් දරන ලද වෙනස් මිනිසුන්ගේ නොනැවතී දරන ලද ප‍්‍රයත්න හමුවේය. මෙම මතවාද අරගල මැදින් ලෝකය ගෝලීයකරණය යුගයක් කරා සේන්දු වී තිබේ. එය අවසානය නොවේ. අද ලෝකයේ තැනින් තැන මිනිසුන් නැවත නැවතත් අලූත් අදහස් වලින් සන්නද්ධ වෙමින් සිටී. එදවස අන්තරාය අභිමුව ඉතා කැපවීමෙන් කරන ලද විප්ලව දැන් ක්ෂණයකින් මතුවන රැුලි සේ නැගී විහිදී පැතිරී යයි.

1953 සිට 59 දක්වා මෙහෙයවන ලද විප්ලවයකට පසු රට අල්ලා ගත් කස්ත්‍රෝ එයින් පසු හතලිස් හත් අවුරුද්දක් අඛණ්ඩව රට පාලනය කළේය. ඔහුගේ විප්ලවයේ ප‍්‍රබල සාමාජිකයෙකු වූ චේ ගුවේරා කියුබාවේ වෙනස ලෝකයේ තැලී පෑගී සිටි ජන කොටස් අතරින් විශාල මතයක් සේ පතුරවන්නට දායක විය. ඔහු ගිය මග විප්ලව සිදුවිය. රටවල් වෙනස් විය. කියුබානු විප්ලවයෙන් පසු එරට මහ බැංකුව සහ ආරක්ෂක අංශය භාර දුන් නමුත් ඒවා වෙනුවට චේ තොරා ගත්තේ ලෝකය වෙනස්කරන වෑයමයි. කියුබාව ගත කරන අඩ සියවසක එකී කාලය තුළ ජාත්‍යන්තරය බලවත් වෙනස්කම් වලට භාජනය විය. ඒ සියළු දේ වෙනුවෙන් අභීතව මුහුණ දුන් කස්ත්‍රෝ එක්තරා අවස්ථාවක දී කියුබාව වෙනස් විය යුතුු බව තේරුම් ගන්නට ඇත. රටේ පාලනය සිය සහෝදරයාට භාරදුන් හෙතෙම කියුබාව වෙනස් වෙන අන්දම දෙස බලා සිටියේය. විප්ලවයෙන් පසු රට තුළ තද වාමාංශික ප‍්‍රතිපත්ති වලට ගමන් කරන හෙතෙම ව්‍යවසාය රජයට පවරා ගනී. ඇමරිකානු ව්‍යවසායකයන්ට එයින් අවාසියක් සිදුවෙයි. කියුබාව අනුගමනය කරන ලද ආර්ථික පිළිවෙත ඇමරිකාවේ නොසතුටට හේතුවෙන්නේ එයින් ඉනික්බිතිවය. සෝවියට් වාමාංශික ප‍්‍රතිපත්ති වලට නැඹුරුවන කියුබාව ඇමරිකාවට එරෙහි ජාත්‍යන්තර සංකේතයක් බවට පත්වෙයි. ඇමරිකා කියුබා රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්න ඇතිවෙයි. අවසානයේ දෙරට අතර තානාපති සම්බන්ධතා අත්හිටුවන්න තීන්දුවෙයි. කියුබාව ජාත්‍යන්තර ත‍්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් කර තද සම්බාධක පනවයි. ඇමරිකාව ගන්නා එම තීන්දු ගැන ලෝකය පුරා ජන මතයක් ඇතිවන අතර එයට එකතු වෙමින් ‘‘ කියුබාවට අත නොතබනු ’’යනුවෙන් ශ‍්‍රී ලංකාවේ ද පෝස්ටර් ඇලවෙන්නේ ඒ අනුවය.

ලෝකය වෙනස් වී තිබේ. අවුරුදු පනස් අටකට පසු වොෂින්ටන් හි කියුබා තානාපති කාර්යාලයක් විවෘත වන්නේ පසුගිය වසරේදීය. කියුබාව අවනත කරගන්නට නොයෙක් අන්දමට දැරූ ප‍්‍රයත්න වල අවසානය එයයි. දීර්ඝ කාලයක් ප‍්‍රමාද වූ ඓතිහාසික තීන්දුවක් ගන්නට හැකි වූ බව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙම සිදුවීම ගැන ඔහුගේ මතය දක්වමින් කියා සිටි බව මාධ්‍ය වාර්තා කළේය. නායකත්වය හා එහි තිබූ අසමාන ලක්ෂණ වල තරම එයින් පිළිබිඹු වෙයි. ෆිදෙල් ක‍්‍රස්ත්‍රෝ ගේ සංකල්ප හා ප‍්‍රතිපත්ති වලට එකඟ හෝ නැති නමුත් මේ සා විශාල කාල වකවානුවක් අඛණ්ඩව ස්වකීය තීරණයෙහි සිටීම ඔහු දැක්වූ සුවිශේෂී ස්වභාවයකි. ලෝකයේ කොමියුනිස්ට්, ට්‍රොස්කිවාදී පක්ෂ අහෝසි වෙමින් තිබේ. සමහර විට මේවා යන්තමින් හෝ පවත්වාගෙන යන්නේ ශ‍්‍රී ලංකාවේ වෙන්නට ඉඩ තිබේ. නමුත් නායකයෙකු වශයෙන් පෙන්වන ලද හැකියාව, තිබුණ පුලූල් ආත්ම ශක්තිය ගැන ආදර්ශ රටට නැත. එක මතයක්, එක දර්ශනයක් වෙනුවෙන් ජීවිත කාලයක් දරන ලද අධිශ්ඨානය අද ලෝකයේ නොයක් තැනින් ඇගයීමට ලක්ව ඇත.

අනාගතයේ දී ලෝක ආර්ථිකය සමාජ ව්‍යුහය කෙබඳු මුහුණුවරක් ගනු ඇත්දැයි කියන්නට හැකියාවක් නැත. සමාජවාදය බිඳ වැටී ධනවාදයට හැරෙන නමුත් ගැටළු වල අවසානයක් නොපෙනේ. අර්බුද මැද ලෝක වාසී ජනතාව ධනවාදයේ උපරිම ලක්ෂණ වලින් ද තෘප්තියට පත්ව නැති බව පෙනේ. අවශ්‍ය කරන වේලාවේදී රට වෙනුවෙන් නිර්භීතව විප්ලවය මෙහෙයවා එම විප්ලවීය ගුණාංග ඵරම්පරාවත් තිස්සේ ආරක්ෂා කරගන්නට සමත්වූ බලවත් පරිචය නිර්ලෝභී ගෞරවාචාරයට ලක්වන බව නිසැකය.