» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/02/2017 - දේශය
ඇමරිකාවට ගොස් ඉන්දියාව කියවන පි‍්‍රයංකා චොප්රා

පි‍්‍රයංකා චොප්රා මෙයින් වසර දහ හතකට කලින් ඉන්දියාවේ රූ රැජිනකි. අද වන විට මහජන හිතෛශී පරාර්ථකාමී චරිතයක් සේ ලෝකය පුරා පිලිගැනීමට ලක්ව තිබේ. නිලියක සහ චිත‍්‍රපට නිෂ්පාදිකාවක වශයෙන් ද ප‍්‍රකට පි‍්‍රයංකා චොප්රා ගේ භූමිකාව ජගත් විචාරයකන් අර්ථ දක්වන්නේ සුවිශේෂී තැනක තබමින්ය.

ඉන්දියාවේ රූ රැජින තරගයෙන් දිනන පි‍්‍රයංකා වෙත එරට බොලිවුඞ් සිනමාවට ආරාධනා ලැබෙයි. එය පිලිගත් ඇයගේ සරල අපේක්ෂාව නැත්නම් සිහිනය වූයේ නගරයේ පිහිටා ඇති දැවැන්ත දැන්වීම් පුවරු හයක ඇය ගේ පින්තූරය ප‍්‍රදර්ශනය වනු දැකීමය. වසර දෙක තුනක් ඇතුලත එය සාර්ථක විය. අති දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරන බොලිවුඞ් හි තමන්ට හිමි තැන සොයා ගන්නට ඇය සමත්වූවාය. එයින් නොනැවතුන පි‍්‍රයංකා අද හොලිවුඞ් සිනමාවට ද ප‍්‍රවේශ වී සිටින්නීය. බටහිර මාධ්‍ය ඇයගේ විලාශය ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ. ලස්සන, බුද්ධිමත් මහ පොලවේ පය ගැසූ කාන්තාවක් සේ හදුන්වයි.

ඉන්දියානු සිනමා කර්මාන්තය තුළ ඉහළම ජනප‍්‍රියත්වය ඇති සහ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පීන් අතර පි‍්‍රයංකාගේ නම සඳහන්ය. රඟපෑ චරිත වලට සම්මාන විශාල ප‍්‍රමාණයක් දිනාගෙන ඇති අතර ජාතික චිත‍්‍රපට සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන ඒ අතර වෙයි. ඉන්දීය රජය පද්ම ශ‍්‍රී සම්මානය පිරිනමන ලද අතර වතාවක් ටයිම්ස් සඟරාව ඇය ලෝකයේ වඩාත් බලපෑමක් කළ හැකි චරිත සියයක් අතරට ද තෝරා ගත්තාය. 2015 වසරේ දී ඇමරිකානු ඒබීසී නාලිකාවේ වැඩසටහන් මාලාවකට තෝරා ගැණුන අතර එය ඇමරිකානු මාධ්‍ය ජාලා අතර සිරස් තල මැවූ ප‍්‍රවෘත්තියක් විය. ඉන්දියානු කාන්තාවක් එපමණ තැනකට පැමිණි පළමු වතාව එය වීම විශේෂත්වයකි.

ප‍්‍රියංකා චෝප්රා ඉගෙන ගත්තේ ඉංජිනේරුවරියක් වෙන්නටය. නමුත් ඉරණම වෙනස් විය. බාලවියේදී දෙමාපියන්ගේ වෘත්තීය ස්වභාවය හෙයින් දිල්ලිය, චන්දිගාර්, ලක්නව්, පුනේ ඇතුළු නගර වල පදිංචියට යන්නට සිදුවූවාය. පාසල් ගණනාවක ඉගෙන ගත් ඇය පසුව කියා සිටියේ මෙම ගමන් බිමන් හා පාසල් මාරු කිරීම අපහසුවක් නොවූ අතර එය ඉන්දියවේ සංස්කෘතිය හා ජන ජීවිතය අධ්‍යයනය කරන්නට අවස්ථාව සම්පාදනය වූ බවය. මූලික අධ්‍යාපනයෙන් පසු ඇමරිකාවට ගිය පි‍්‍රයංකා ඇගේ නැන්දනියක හා වෙසෙමින් තව දුරටත් ඉගෙන ගත්තාය. අධ්‍යාපනයට අමතරව බටහිර සම්භාව්‍ය සංගීතය, නැටුම් ප‍්‍රගුණ කළ අතර එහි දී ඉන්දායානුවෙකුවීම හා ඇගේ පැහැය ගැන ඇතැම්විට අපහසුතාවයට පත්වූවාය. මුල් කාලයේ එවැනි පසුබෑම් තිබුණ නමුත් පසුව ඇය කියා සිටියේ ඇගේ මධ්‍යම පංතියේ පසුබිම සහ පාදවල තිබුණු සුදු ලප නොසලකා ධෛර්යයෙන් පැමිණි ගමන අවසාන වන විට ප‍්‍රධාන පෙලේ සමාගම් දොලහක් ඇයගේ දෙපා ප‍්‍රදර්ශනය කරමින් භාණ්ඩ විකුණන මට්ටමට පැමිණ ඇති බවය.

අධ්‍යයනය ලබන අතරතුර රූප රැජින තරගයක් දිනූ ඇය පෙරලා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ එරට ‘මිස් ඉන්දියා’ තරගයෙන් දෙවැනියා වූවාය. ඒ අවුරුද්දේ දී ම එනම් 2000 වසරේ දී ලෝක රූ රැජින තරගයෙන් ජයගත් ඇය එයින් ජන සම්මානයට පාත‍්‍රවූවාය. තව දුරටත් ඉගෙනගන්නට තිබුණ සියළු අවස්ථා තිබිය දී සිනමා කර්මාන්තයට නැඹුරු වූ පි‍්‍රයංකා චොප්රා සිය පියාට ලැදි ඔහු වෙනුවෙන් ටැටූවක් සටහන් කරගත් තැනැත්තියක සේ ප‍්‍රකටය. පවුල සමග කිට්ටුවෙන් සම්බන්ධතා පවත්වාගෙන යන ඇය එක දිගට චිත‍්‍රපට වල රඟපෑවාය. එක චිත‍්‍රපටයක් සමග ඇය ගිනස් වාර්තා පොතට නම් කරනු ලැබුවාය. වට්ස් යුව රාශී යන චිත‍්‍රපටයේ චරිත දොලහක් රඟපා එම කුසලතාව දැක්වූ ඇය වරක් එක්තරා දර්ශන තලයක දී සිහි නැතිව ඇද වැටී රෝහල් ගතකරන්නට සිදු වූයේ අධිකව වෙහෙස හෙයින් බව සඳහන්ය. රගපෑමෙන් පමණක් සීමා නොවූ ඇය ගායනයෙන් ද සමත්කම් දක්වන අතර බොලිවුඞ් හි රගන අතර ගායනය ද ප‍්‍රගුණ කර පසුව ඇමරිකාවේ දී ගීත ඇල්බමයක් නිකුත් කළාය.

පි‍්‍රයංකා චොප්රා දුසිම් ගණන් චිත‍්‍රපට වල රඟපෑවාය. තවත් දුසිම් ගණනක් විශිෂ්ඨ සම්මාන වලට හිමිකම් පෑවාය. ඉන්දියාවට ජනප‍්‍රිය, ජනකාන්ත චරිතයක් වූ ඇය ලෝකය පුරා ආලෝකය පතුරවන දීප්තිමත් තාරකාවක් බවට පත්වූවාය.

චොප්රා දස වසරකට වඩා කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්නාම තානාපතිනියකි. පසුගිය 2010 හා 2016 වසර වල ඇය ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නිල කාර්ය භාරයක් ඉටු කළාය. එයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසර සහ කාන්තා ප‍්‍රශ්න ගැන ඒවායේ නොයෙක් පැති ලෝකය පුරා අවධානයට ලක්කරන්නට පුලූල් දායකත්වයක් සම්පාදනය කළාය. කාන්තා අයිතිවාසිකම් ගැන පමණක් නොව සමානාත්මතාවය වෙනුවෙන් ද නොයෙක් විට පෙනී සිටියාය. චෝප්රා ඇයගේ පැවැත්ම සහ දක්ෂතාවය මත නිතර මාධ්‍ය අවධානයට ලක්වූවාය. සමාජ මාධ්‍ය වල කටකතා මහ ඕපදුප වලට ගොදුරු වූවාය. එයින් සසල වූයේ නැත. බොලිවුඞ් පමණක් නොව හොලිවුඞ් වලට ද ප‍්‍රවේශ වෙන විට ඇය ඇමරිකානු පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ කියා සිටියේ තමන් ඇමරිකානු ඉන්දියානුවෙකු නොව ඉන්දියාවේ ඉන්දියානුවෙකු බවය. නමුත් සම්ප‍්‍රදායික හැසිරීමක් අපේක්ෂා කරන එක නුසුදුසු යැයි කියා සිටියේ සෘජුවය. වරක් ඇය ටිවිටර් පණිඩුයකින් ලොව පුරා ප‍්‍රචාරය කළේ තමන් ඇමරිකාව ජයගන්නට විශාල සැලසුමක් ඇතිව ඉන්නා බවට හිතන නමුත් එය ඇත්තක් නොවේ යැයි කියා සිටියේ සරල අව්‍යාජ බව දක්වමින්ය.

ඉන්දියාවට යන විට අමුත්තියක් වූ පරිද්දෙන්ම හොලිවුඞ් සිනමාවට අවතීර්ණ වන විට ද තමන් පළපුරුදු නැති බව කියන ප‍්‍රියංකා චොප්රා මාධ්‍යවේදීන්ගේ විමසීම් වලට දෙන පිලිතුරු වලින් ඇය වඩා ජනප‍්‍රියත්වයට පත් කරන බව විචාරකයින් ගේ අදහසයි.

හමුදා වෛද්‍ය යුවලක ගේ දියණිය ඉන්දියාවේ තාරකාවක්ව ලෝක පූජිත චරිතයක් බවට පත්ව ඇති අතර ඇයගේ අදහස ඇය තවමත් කුඩා බවය. බාල වියේ දී ඉංජිනේරුවරියකවීමේ සිත් ඇතිව ඉගෙනගත් බවය. ලෝකයේ නන් දෙසින් ඇය ගේ නිරූපනය ඉල්ලා සිටියි. ඒවා එකනෙකට වෙනස් අවශ්‍යතා වෙනුවෙන්ය. භාණ්ඩ අලෙවි කරන්නට ඇගේ ස්වභාවය උපයෝගී කරගන්නා දක්ෂ දැන්වීම්කරුවෝ පසුව ඇය ස්වේච්ඡාවෙන් සමාජ යහපත වෙනුවෙන් කැපවීමෙන් පෙනී සිටින ආකාරය දෙස බලා සිටිති.

බොලිවුඞ් පමණක් නොව හොලිවුඞ් සිනමා කර්මාන්තයේ එකිනෙකට වෙනස් දක්ෂතා පෙන්වන පි‍්‍රයංකා චොප්රා අද පෙනී සිටින්ගේ සමාජගෝලීයකරණයේ පුද්ගල නාමයක් වශයෙන්ය. ඇය ලොව පුරා රසිකයන් අතර අපූරු සංකේතයකි. ජනතාව ඇය වැළඳගෙන ඇත්තේ සිනමාව, රූපවාහිනිය හෝ ඒවායේ රඟන ශිල්පිනියක නිසා නොවේ. ඇයගේ මාවත ඔස්සේ විවර වූ අවස්ථාවන් සමාජ යහපත වෙනුවෙන් කැපකරන්නට සූදානම් හෙයින්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.