» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/07/2016 - දේශය
ජයග‍්‍රාහකයන් හා පරාජිතයන් ඉතිහාසයේ සරදමට

යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද යන බැරැරුම් තිරණය වෙනුවෙන් පැවැති බි‍්‍රතාන්‍ය ජනමත විචාරණය එක්තරා අනපේක්ෂිත අවසානයක් නිර්මාණය කර තිබේ. එය අවසානය ද? නැත. නැවත වටයකින් ආරම්භයක් වෙන්නට ඉඩ කඩ තිබේ. ජනමත විචාරණයේ ප‍්‍රතිඵල අනුව බි‍්‍රතානය පුරවැසියන්ගෙන් බහුතරයක් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන අරමුණෙහි පිහිටියේය. යුරෝපා ප‍්‍රජාව පමණක් නොව සමස්ථ ජගත් ප‍්‍රජාව එවැනි තීරණයක් අපේක්ෂා නොකළ බව සැකයක් නැත. අවම වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතය බි‍්‍රතාන්‍යයෙහි අවුලවන ලද එරට දේශපාලන නායකයන් පවා අවසාන ප‍්‍රතිඵලය දෙස බලා සිටියේ මේ අන්දමට නොවේ. ජනතාව මෙහෙය වූ සියලූම දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් අතීරණාත්මක අවසානයක් කරා පැමිණ සිටී.

ජනමත විචාරණය ප‍්‍රතිඵල නිකුත් වූ පසු ඬේවිඞ් කැමරන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. මන්ද යුරෝපා සංගමයේ තව දුරටත් සිටිය යුතුය යන ඔහුගේ ස්ථාවරත්වය පරාජයට පත්විය. කැමරන් ගේ ප‍්‍රතිවාදී නයිජල් ෆරාජ් බි‍්‍රතාන්‍ය තුළ යුරෝපා සංගමය ගැන බලවත්ම මතය ඇති කරන ලද දේශපාලනඥයාය. මෙහෙයෙවන ලද ආකාරය අනුව බි‍්‍රතාන්‍ය දේශපාලන බලවත්කම අතර තුන්වැති තැනට එන්නට මෙම සුළු පක්ෂය සමත්විය. නමුත් ජනමත විචාරණය අවසන් වන විට ඔහු සිය ස්වාධීන පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. පරාජිතයා පමණක් නොව මතය මෙහෙයවා එය ජයග‍්‍රහණය කරන ලද පාර්ශවයන් ද අර්බුදයට පත්ව ඉවත්වීම ප‍්‍රශ්නයකි. එපමණක් නොවේ, කොන්සවටිව් පක්ෂයේ ප‍්‍රබලයෙකු වූ බොරිස් ජොන්සන් අගමැති ඬේවිඞ් කැමරන්ගේ මතය පරාජය කරන්නට පෙනී සිටියේය. කොන්සවටිව් පක්ෂය යුරෝපා සංගමයේ සාමාජිකත්ව ජනමත විචාරණය ඉදිරියේ දෙකට බෙදෙන විට අධිකරණ ඇමැති මයිකල් ග්ලොව් සමග උරෙනුර ගැටෙමින් සිටියේ හිටපු ලන්ඩන් නගරාධිපති සහ මේ වන විටත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින බොරිස් ජොන්සන්ය. හෙතෙම කැමරන්ගෙන් පසු බි‍්‍රතානය අගමැති ධුරය වෙනුවෙන් තරඟ කරන බව මාධ්‍යයට ප‍්‍රකාශ කරමින් සිටියේය. ඔහුට ඒ වෙනුවෙන් හැකියාවක් ඇති බව ඒත්තු ගැන්වෙන්නේ ලන්ඩන් නගරාධිපති වශයෙන් කටයුතු කිරීමේ දී දැක්වූ පරිචයයි. නමුත් ඔහුට කලින් ඔහුගේ ම පක්ෂයේ ඔහු සමග එකට යුරෝ විරෝධී සටනෙහි සිටි මයිකල් ගෝව් තමන් අගමැති අපේක්ෂකත්වයට ඉල්ලන බව ප‍්‍රකාශයට පත් කළේය. ඒ සමගම බොරිස් ජොන්සන් කළේ තමන්ගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගන්නා අතර සහාය දෙන්නේ කාටදැයි ප‍්‍රකාශයට පත් නොකිරීමය.

මේ අතර ජෙරමි කෝබියන් බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයාය. 1983 සිට දේශපාලනයේ නියුතු හෙතෙම 2015 දී කම්කරු පක්ෂ නායකත්වයට පත්විය. කුඩා නියෝජනයක් ඇති හෙතෙම යුරෝපා සංගමය ගැන රට තුළ ඇති විරෝධයට තද අදහස් එකතු කළේය. එය ජනමාධ්‍ය තුළ හොඳ අවධානයක් දිනා ගත්තේය. ජන මත විචාරණයේ ප‍්‍රතිඵල සමග ජෙරමි කෝබියන් ප‍්‍රබල චරිතයක් වනු ඇති බව බි‍්‍රතාන්‍ය ජාතිකයෝ හිතන්නට ඇත. නමුත් ඔහුගේ පක්ෂය තුළ මතු වූ අර්බුදය අවසානයේ ඔහුට සිදුවූයේ දරමින් සිටි ඡායා කැබිනට් ධුරයට ද ආයුබෝවන් කියන්නටය.

යුරෝපා සංගමයේ රටවල් විසි අටක් සමග එකට කටයුතු කරමින් සාමූහිකව කලාපයේ තීන්දු වලට ඇතුළු වෙන්නට ඬේවිඞ් කැමරන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පෙනී සිටියේය. කැමරන් 2001 වසරේ සිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන කොන්සවටිව් නියෝජිතයෙකි. හෙතෙම 2005 වසරේ පක්ෂ නායකත්වයට පත් වූ අතර එයින් අවුරුදු පහකට පසු එරට අගමැති ධුරයට පත්විය. ආර්ථික සහ සමාජ වශයෙන් ලිබරල් අදහස් ඇති හෙතෙම ඔහුගේ දේශපාලන ගමන තුළ යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප‍්‍රශ්නය සාකච්ඡා වූ විට තීරණයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ එය ජනමත විචාරණයකින් පසු ජනතාව ගන්නා තීන්දුව අනුව සලකා බැලිය හැකි බවය. නමුත් අවසානයේ සිදුවී ඇත්තේ කුමක්ද? ජයග‍්‍රාහකයන් පමණක් නොව පරාජිතයන් ද බලවත් අර්බුදයකය.

ජනමත විචාරණයට පසු ඇති කරන ලද පසුබිම ජාත්‍යන්තර විචාරකයන් කියන්නේ ඬේවිඞ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන ලද බවයි. බොරිස් ජොන්සන්ට එය කරන්නට උවමනා වූ නමුත් ඔහු හිත වෙනස් කරගෙන ඇත. මයිකල් ගෝව් තමන්ට එය කරගන්නට ඉඩ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන නමුත් එම පක්ෂයේම තෙරේසා මේ දැනට ස්වදේශ කටයුතු ඇමැතිනියට එය කිසිසේත් කරන්නට අවශ්‍ය නැති බවය. විචාරකයන් කියන්නේ මෙම අර්බුදය කෙසේ වෙතත් දැනට කවුරුන් පත්වේදැයි හිතා ගත නොහැකි නමුත් බි‍්‍රතාන්‍යයේ මීළඟ අගමැතිවරයාට යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල කාර්ය භාරයෙහි නියැලෙන්නට සිදුවන බවය.

මෙය එක්තරා ආකාරයකට ජනතා පෙරැලියකි. ජනතාන්ත‍්‍රිකත්වය කොතැන කවර ආකාරයකට නිර්මාණය වනු ඇත්දැයි ඉඳුරා කියන්නට තවමත් අපොහොසත් තත්ත්වයකි. ජනමත විචාරණය ගැන වේදිකා දෙදරවන අදහස් පළ කරන ලද චරිත අද නිහඞ අර්බුදයකය. ලෝක ජනමාධ්‍ය වල විශාල අවකාශයක් අත්පත් කරගෙන බලවත් තර්ක ගොඩනැගු බි‍්‍රතාන්‍ය දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ සලකා බැලිය හැකි සියලූම පැති වලින් අපමණ දුබලතාවයන්ට ලක්ව ඇති බව පැහැදිලිය. අභියෝගය පෙනි පෙනී එයට මුහුණ දෙන්නට සූදානම් බවක් නැත. මන්ද එක පැත්තකින් මෙම යුරෝපා සංවිධානයෙන් ඉවත්වීම අවුරුදු ගණන් ගත වන අති විශාල නීති කර්තව්‍යයක් වන බැවින් විය හැකිය.

තවත් මාස දෙකකට පසු එනම් ලබන සැප්තැම්බර් නම වැනිදා කොන්සවර්ටිව් පක්ෂයේ නව නායක සහ අගමැති කවුදැයි නිල වශයෙන් තෝරා ගැනෙනු ඇත. ලන්ඩන් හි අංක දහය දරන නිල නිවාසයේ ජීවත් වෙමින් ස්ථාවර ආකාරයකට යුරෝපා සංගමයෙන් ලිහී ගිලිහී යාමේ කාර්ය බාරය පැවරෙන්නේ ඔහුටය. එය කිසිසේත් පහසු එකක් නොවේ. එයින් අත්පත්වන වාසි සහ අවාසි බි‍්‍රතාන්‍ය ජන ජීවිතය නැවත වතාවක් සංකීර්ණ තැනකට පත් කරනු නිසැකය. විශේෂයෙන් එරට තරුණ පරපුර යුරෝ කලාපයේ රටවල් විසි අටක් සමග පවත්වන ලද සම්බන්ධතා සංකීර්ණ විය හැකි ආකාරය ගැන දැනටමත් පරස්පර අදහස් මතු කරන්නට පටන්ගෙන තිබේ. දේශපාලනපක්ෂ සහ දැඩි මතධාරීන් ජනමත විචාරණයෙන් පසු ඇතිකරන ලද තත්ත්වය දරාගත නොහැකි ස්වභාවයට පත්ව තිබේ. එය එක පැත්තකින් ජන තාන්ත‍්‍රිකත්වය යනු කොතරම් බරක් ඇති එකක් ද සහ එහි වගකීම කොපමණ සුවිසල් ද යන්න සහතික වශයෙන්ම පෙන්වා දෙන එකකි. යුරෝපා සංගමයේ ඉන්නට බලාපොරොත්තු වූ පමණක් නොව එතැනින් ඉවත්වී අලූත් අනන්‍යතාවයක් හදාගත යුතු යැයි අවධාරණය කරමින් සිටි සියලූම කණ්ඩායම් දැන් එකම බංකුවක වාඩි වී සිටියි. ඉදිරි කාලය තුළ නොසිතන එනම් බලාරොත්තු විය නොහැකි වෙනස්ම පසුබිමක් හැදෙන්නට බැරි නැතැයි අපේක්ෂා කරන තත්ත්වයක් ද උදා වී තිබේ. කෙසේ නමුත් එය ජනතාවගේ තීන්දුවකි. නායකයන් අවබෝධ කරගත් සියුම් ස්වභාවයකි.