» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/12/2017 - දේශය
එමිරේට්ස් ඔසවන ෂෙක් මොහමඞ්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රටවල් හතක් එකතු වී නිර්මාණය වී තිබේ. අබුඩාබි එහි ප‍්‍රධාන පාර්ශවයයි. ෂෙක් මොහමඞ් බින් රෂීඞ් අල් මක්තුම් එක්තරා සිහිනයක් දකී. වසර 2021 වන විට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමය. සම්බන්ධිත රටවල් හත අතර වන ඩුබායි හි පාලකයා ද වන හෙතෙම ලෝකය පුරා බලශක්ති අංශයෙහි පෙරැළියක් වන විට බොරතෙල් වලින් යැපෙන සිය ආර්ථිකය අලූත් පැත්තකට යොමු කරන්නට සමත්ව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අගමැති ධුරය හොබවන්නේ ද ෂෙක් මොහමඞ්ය. එය ඔහුගේ පියා එනම් රෂීඞ් බින් සයිඞ් ආරම්භ කරන ලද සැලැස්ම තවදුරටත් යාවත්කාලීන කිරීමකි. හෙතෙම එකී ප‍්‍රයත්නය අභියෝග අභිමුවෙහි ධෛර්යයෙන් ඉදිරියට ගමන් කරවමින් සිටී. එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ සිදුවන පරිවර්තනය දෙස ජගත් ප‍්‍රජාව නොමද උනන්දුවෙන් බලාසිටින බව ද සඳහන් කරන්නට අවශ්‍යය.

ෂෙක් මොහමඞ් එකිනෙකට වෙනස් විද්‍යාත්මක පර්යේෂණ සහ නව සොයාගැනීම් වෙනුවෙන් සම්පූර්ණ අවධානය යොමු කර ඇති පාලකයෙකි. ඔහුගේ නමින් නවෝත්පාදක ඇකඩමියක් තිබේ. පසුගිය දා එහි පළමු වාර්ෂික සමුළුවට ඔහු සහභාගී වූයේ බලවත් උනන්දුවක් ඇතිවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනික අංශ දියුණු කිරීම උදෙසා විද්‍යාව හා තාක්ෂණය භාවිතා කිරීම සිය ඉහළම අභිලාශය බව එහි දී ප‍්‍රකාශ කළේය. විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් ආයෝජනය කරන්නට හොඳ පහසුකම් අත්පත් කරදීම සහ පර්යේෂකයන්ට අනාගතය සැලසුම් කරන අවස්ථාවට සම්බන්ධ කරගැනීම ඕනෑම සමාජයක සමෘද්ධියට හේතු වන බව ෂෙක් මොහමඞ් එහි දී අවධාරණය කළේය. මැදපෙරදිග අරාබි රටවල් අතර විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් වෙන් කරන ලද ඇකඩමියක් පිහිටුවා ඒ වෙනුවෙන් ධෛර්යය ලබාදෙන පළමු රට බවට පත්ව ඇත්තේ එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයයි. එම උනන්දුව පවත්වාගැනීමේ ගෞරවය ෂෙක් මොහමඞ් බින් රෂීඞ් වෙත නොපැකිලවම හිමි විය යුතුය.

1949 ජූලි 15 වැනිදා උපත ලැබූ ෂෙක් මොහමඞ් 2006 වසරේ දී ඔහුගේ සහෝදරයාගේ අභාවයෙන් පසු ඩුබායි හි පාලකයා විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති පදවියට පත් වන්නේ ඉන් පසුවය. ෂෙක් මොහමඞ් ගේ පියා රෂීඞ් බින් සයිඞ් විශේෂ දර්ශනයක් ඇතිව ඩුබායි නගරය දියුණු කරන ලද බව ඉතිහාසගතව තිබේ. තම කලින් පරම්පරාව ඔටුවන් ගේ පිහිටෙන් ගමන් ගිය අතර තෙල් ධනය හෙයින් වර්තමානයේ ඇති අති විශාල වත්කම් උපයෝගී කරගෙන සුඛෝපභෝගී වාහන වලින් ගමන් කරන පහසුව ලැබී ඇති බව විශ්වාස කළ බින් සයිඞ් කවදා හෝ තෙල් සම්පත අවසන් වූ පසු නැවත ඔටුවන් ප‍්‍රයෝජනයට ගැනීමට සිදුවෙතැයි නිතර කියා සිටියේය. තෙල් වලින් ලැබෙන ආදායම උපයෝගී කරගෙන සහ සමහර ව්‍යාපෘති වලට විශාල වශයෙන් ණය ගෙන ඩුබායි නගරයේ යටිතල පහසුකම් දියුණු කරන්නට හෙතෙම පියවර ගත්තේය. එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකක අරමුදලකින් ආරම්භ විය. ඩුබායි වරාය, උමං මාර්ගය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු විශ්වාස කරන්නට අපහසු දැවැන්ත යෝජනා ක‍්‍රම ඇතිකරන ලද අතර ඒවා ඩුබායි නගරය මූල්‍ය කලාපයක් කරන්නට ප‍්‍රයෝජනවත් විය. ඔහුගේ පුත් ෂෙක් මොහමඞ් ඉදිරියට ගෙන යන්නේ එහි ඉදිරි පියවර බව ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහසයි.

විශ්ව පුරවරයක් බවට ඩුබායි නගරය පත් කරන වගකීම එහි ප‍්‍රධානියා ලෙස ෂෙක් මොහමඞ් හට පැවරී තිබේ. හෙතෙම පත් වී කෙටි කාලයකට පසු ඩුබායි පුනරුදය සඳහා වූ අලූත් සංකල්පය ඉදිරිපත් කළේය. එනම් වසර හතකට කලින්ය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, පොලිසිය හා ආරක්ෂාව, නිවාස හා යටිතල පහසුකම් සහ රාජ්‍ය සේවය යන හය වැදෑරුම් අංශ ආවරණයවන පරිදි ආයතන අනූවක් හා ඒවායේ ප‍්‍රධානීන් තුන්සියයක් සම්බන්ධවන වීශේෂ සැලැස්මක් වශයෙන් එය සකස් කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ පාලක මණ්ඩලයේ පමණක් නොව පොදු ජනතාවගේ ද පැසසුමට ලක් වූ එකී සැලැස්ම අලූත් ආර්ථික ජවයක් කාන්දු කරන එකක් සේ ඇගයීමට ලක්විය. ඩුබායි තාක්ෂණික උද්‍යානය, නිදහස් ආර්ථික කලාප, අන්තර් ජාල නගරය, මාධ්‍ය පුරවරය, මූල්‍ය කේන්ද්‍රය පමණක් නොව අද වන විට ලෝකයේ ඉදිකරන ලද විශාලතම ගොඩබිම වශයෙන් සලකන ෆාම් නගරය ගොඩනැගීමේ කාර්යය ද අධීක්ෂණය කළේ ෂෙක් මොහමඞ් බව සඳහන් කළ යුතුය. එමිරේට්ස් ගුවන් සේවය අලූත් යුගයකට පත් කරන්නට ද හෙතෙම සමත්විය. අද ලොව ප‍්‍රබල ගවන් සේවාවකි. ෂෙක් මොහමඞ් ගේ පියා ඩුබායි නගරය මූල්‍ය හා සංචාරක පුරවරයක් කරන අභිලාශයක සිටි අතර මිලියන පහලොවක් සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කළේය. ඒ සඳහා ඩුබායි වෙරල තීරය ප‍්‍රමාණවත් නොවන විට මහ මුහුද ගොඩකර සුපිරි හෝටල් හා සුපිරි ගෝල්ෆ් ක‍්‍රීඩාංගන සහිත සංචාරක කලාපයක් නිර්මාණය කරන ලද අතර එය අහසට දිස් වෙන්නේ තල් අත්තක විලාසයටය. මේවායේ සැලසුම් හදා ධනය වියදම් කරන විට සියළු අංශ සම්බන්ධීකරණය කර සංචාරක ආකර්ශනය ඇති කර ආදායම් උපයන ව්‍යාපෘති බවට හරවන වගකීමට උර දුන්නේ ෂෙක් මොහමඞ් බව සඳහන් කළ යුතුය. ෂෙක් මොහමඞ් ලෝකයේ සුපිරි අශ්වයන් හිමි කරගත් අතර තරගකාරී අශ්ව රේස් සංවිධානයට සමත් විය. අද ඔහු ඩ්‍රෝන තරග පැවැත්වීම ගැන අවධානය යොමු කරමින් සිටී.

ඩුබායි නගරය දෙස ලෝකයේ අවධානය තව දුරටත් පවත්වාගැනීම අරමුණු කරගෙන ලෝකයේ උසම ගොඩනැගිල්ල තනන කැමැත්ත ෂෙක් මොහමඞ් අනාවරණය කළේය. ඒ වන විට අහස සිඹින ගොඩනැගිලි තරඟයට ඉදිවෙමින් තිබුණ අතර ඒ සියල්ලම පරයා 2010 වසරේ සිට අද වනතෙක් සිය කිරුළ රැක ගන්නට කලීෆා කුළුණ සමත්ව සිටී. මීටර් 828 ක් උස මෙම ගොඩනැගිල්ල එක්සත් අරාබි එමීරේට්ස් හි ජනාධිපති නමින් නම් කර ඇති අතර සංකල්පය හා එය ඉදිකරන විශාල කර්තවය පිටුප සිටියේ ෂෙක් මොහමඞ් ය. ලොකුවට හිතන, ඒකී සැලසුම් සාක්ෂාත් කරගන්නට සැලසුම් හදන හෙතෙම තෙල් බලය අවසන් වන විට ඩුබායි අභිමානය නංවන සැලැස්මක් ක‍්‍රියාවට නගයි.

ෂෙක් මොහමඞ් කවියෙකි. ඔහු සඳහන් කරන අන්දමට තමන් අත් විඳීන එදිනෙදා අහන දකින දේ ඇසුරෙන් කවි නිර්මාණය කරයි. මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඇමරිකාවට ගොස් පුද්ගලිකව ඉගෙනුම ලැබූ හෙතෙම එම කණ්ඩායමේ හොඳම ශිෂ්‍යයා බවට පත් විය. නැවත ඩුබායි වෙත පැමිණීමෙන් පසු ආරක්ෂක අංශයේ පුහුණුවක් ලැබූ අතර එයින් පසු පළමු වගකීම වශයෙන් ඩුබායි පොලිස් ඒකකයේ ප‍්‍රධානියා බවට පත්වීම ලබයි. කැපී පෙනෙන මෙහෙයුම් ගණනාවක් ඔහුගේ නමට ඉදිරියෙන් තිබේ. නගරයේ පමණක් නොව ජනතාවගේ සාමකාමී පැවැත්ම වෙනුවෙන් තද තීරණ ගත් අවස්ථා ඔහුගේ නමට ඉදිරියෙන් ලියැවී තිබේ. ෂෙක් මොහමඞ් ගෙන් වරක් එක්තරා සැසියක දී රට පළමුවෙන් තබන්නට තැත් කරන්නේ මන්දැයි ප‍්‍රශ්න කළේය. ඔහු එයට උත්තර දුන්නේ ද කවියක අර්ථයෙන්ය. පළමුවැනියා ගැන හැර අනෙක් අය ගැන අවධානයක් නැති අතර තමන් පමණක් නොව අප හැම දෙනාම රට මුල්ම තැන තබන්නට වෙහෙසිය යුතු බව කියමින් දීර්ඝ උත්තරයක් දුන්නේ ඒ සඳහා අවශ්‍ය කැපවීම ගැන කතා කරමින්ය. දෙවැනියා වෙනවා නම් කොතැනක හෝ දුබලතාවයක් තිබෙන අතර එය බලවත් ප‍්‍රශ්නයක් බව ද ෂෙක් මොහමඞ් බින් රෂීඞ් අල් මක්තුම් කියා සිටී. එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය අද පවතින ස්ථානය කරා රැගෙන එන්නට පරම්පරා දෙක තුනක් දායක වී තිබේ. තමන්ට කලින් පරම්පරාවෙන් පැවරුණ වගකීම නිසි සේ ඉටු කළ හෙතෙම එය අලූත් යුගයට බාර දීමට සූදානම්ය.