» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/07/2016 - දේශය
ට‍්‍රම්ප් නොනාගේ සැර කතාව

ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම නැවත වතාවක් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් අති විශාල මාධ්‍ය ආවරණයක් උපයා ගන්නේ ඔහුගේ කෙලින් කතාකරන ස්වරයෙනි. එකිනෙකට පරස්පර ආන්දෝලනාත්මක ප‍්‍රකාශ වලිනි. ඔහුගේ ප‍්‍රිය බිරි`ද මෙලෙනියා ද ප‍්‍රසිද්ධයේ ඇමරිකානුවන් අමතන ප‍්‍රකාශයක් එයට නොදෙවෙනි ආන්දෝලනයක් මතු කර තිබේ. විචාරකයන්ට අනුව ඇයගේ ප‍්‍රකාශය තුළ මිචෙල් ඔබාමා 2008 වසරේ දී කරන ලද කතාවක කොටස් ඒ ආකාරයටම ඇතුලත්ව තිබේ. කොපි කිරීමක් යැයි කොටසක් චෝදනා කරන අතර තවත් කොටසක් මෙම සිද්ධිය ගැන බලන්නේ සාධාරණ විනිශ්චයක් ඇතිවය. අවුරුදු අටකට කලින් කරන ලද කතාවක අදහස් සමාජය තුළ පවතින අතර එය උකහා ගෙන මෙලෙනියා ට‍්‍රම්ප් අදහස් දැක්වීම බරපතල වරදක් නොවන බව ඔවුන්ගේ අදහසයි.

ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පත්වන්නේ රටට පාලකයෙකු පමණක් නොවේ. ජනාධිපතිවරයා ඇතුලූ පවුලම ඇමරිකානු වැසියන් එරට පළමුවැනි තැන තබයි. ට‍්‍රම්ප් අපේක්ෂකත්වය දිනා ජනාධිපතිවරණය ජයගතහොත් මෙලෙනියා ද එරට පළමුවැනි කාන්තාව බවට පත්වන්නීය. එහෙයින් ජනතාව ඇයගෙන් ද නායකත්වයේ ගුණාංග අපේක්ෂා කිරීම නරක අදහසක් නොවේ. ඇමරිකානු ක‍්‍රමය අනුව රටේ නායකයාගේ පවුලම ‍First Family සේ සලකයි. ජනාධිපති ආර්යාවට ද කාර්ය භාරයක් තිබේ. කාර්යාලයක් නඩත්තු කරන අතර එය එම සමාජයට ගැටලූවක් නොවේ. සැමියා රටේ ජනාධිපති වූ විට බිරි`ද කරන්නේ සමාජ සුබසිද්ධියට හේතුවන කාර්යයන් හි නිරත වීමයි. ආසියාවට එය නුහුරුය. ශ‍්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයාගේ බිරි`ද නිහ`ඩ ගෞරවය අත්පත් කරගත්තාය. එයින් පසු පත්වූ ජනාධිපතිවරුන්ගේ ආර්යාවන් ගැන සමාජයට ඇත්තේ එකිනෙකට වෙනස් ප‍්‍රසාදයකි. වැඩ කරන්නට සූදානම් වුවහොත් මහජන මුදල් නාස්ති කර මහා අපරාධයක් කරන ලද බවට චෝදනා කරන අතර පැත්තකට වී සිටියහොත් කියන්නේ සමාජශීලී නැති බවට කතාවකි. මිචෙල් ඔබාමා ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ හැකියාව දක්වන ලද අන්දමට මෙලෙනියා ට‍්‍රම්ප් ද සමාජ අභිවෘද්ධිය ගැන ප‍්‍රසිද්ධියේ අදහස් දක්වා තිබේ. මෙම කතාව තුළ මිචෙල් ඔබාමා ගේ වචන සහ ඇය ස`දහන් කරන ලද වාක්‍ය වලින්ම අවස්ථා තුනක ඇති බව දක්වමින් එය කොපි කරන ලද කතාවක් සේ දක්වන්නේය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජන ආකර්ශණය වෙනුවෙන් හිතුවක්කාර අන්දමට කතා කරන්නා සේ ඔහුගේ බිරි`ද ද මෙම කතාව කරන්නේ මහා අවධානයක් ගන්නට බව ඇතැමෙකුගේ මතයයි. එවැනි ද්‍රෘෂ්ඨි කෝණයකින් බලන්නේ නම් එය ඇත්තකි. මෑතක් දක්වා ජාත්‍යන්තරය නොදැන සිටි ඇය අද වන විට ලෝකය හ`දුණන චරිතයකි. තවත් පිරිසකට අනුව ඇයගේ කතාවේ කොපි කරන ලද බව කියන කොටස සම්පූර්ණ කතාවෙන් සියයට හතක පමණ සුළු ප‍්‍රමාණයකි. සාධාරණීකරනය කරන තවත් පිරිසක් දක්වන්නේ මෙම කතාව පිටපතක් වශයෙන් සකස් කිරීමෙන් පසු ඇය දින ගණනක් මහන්සි වී හුරුපුරුදු වූ අතර වරද්දාගත්තේ පිටපත සකස් කරන ලද අංශ බවය.

මෙයින් පෙන්වන්නේ ජනතාන්ත‍්‍රිකත්වයේ අලූත්ම ප‍්‍රවේශයකි. ජනතාව තමන් වෙනුවෙන් නායකයන් සොයන අතර එම නායකයන් පිටුපස සිටින චරිත වලට ද වටිනාකමක් නිර්මාණය වෙමින් තිබේ. මෑත කාලය තුළ ඔබාමා පවුල හැසිරෙන හැටි, අ`දින පළ`දින සහ ඔවුන් ගේ පවුලේ තොරතුරු ඇමරිකානු ජනතාව ගේ ආකර්ශනය දිනාගත්තේය. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් පමණක් නොව ඔහුගේ බිරි`ද සහ දරුවන් ද දේශපාලනය කරන්නට නැඹුරු වෙන්නේ ඒ අනුවය. ට‍්‍රම්ප් ගේ පුත‍්‍රයා ද අද වන විට ආන්දෝලනාත්මක ආකාරයේ අදහස් දක්වමින් සිටී.

2001 දී ඇමරිකාවට පැමිණ එයින් අවුරුදු පහකට පසු පුරවැසි භාවය ලැබූ මෙලෙනියා වෘත්තියෙන් ස්වර්ණාභරණ සහ ඔරලෝසු මෝස්තර නිර්මාණය කරන අතර නිරූපිකාවක් වශයෙන් ද කටයුතු කර ඇත. දැන් ස්ලෝවේනියාව යනුවෙන් හදුන්වන එදා යුගොස්ලාවියාවේ උපත ලැබූ ඇය යොවුන් වියේ දී ජාත්‍යන්තරයට ඇතුළු වූයේ දක්ෂ නිරූපිකාවක් වශයෙන්ය. නිව්යෝක් නගරයට පැමිණීමෙන් පසු මෝස්තර ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ මෙලෙනියා එහි පැවැති උත්සවයක දී ට‍්‍රම්ප් මුණ ගැසී ඇති අතර පසුව ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ආන්දෝලනාත්මක රියැලිටි වැඩසටහන හෙයින් ජන අවධානයට ලක්වූවාය. දෙදෙනාගේ විවාහය මාධ්‍ය වලට මාතෘකාවක් වූයේ එහි උත්කර්ෂවත් බව සහ ඒ වෙනුවෙන් කරන ලද විය පැහැදම් නිසාය. කෙසේ වෙතත් මෙම විවාහය ඩොනල්ඞ් ට‍්‍රම්ගේ තුන්වැනි කසාදය බව ද සදහන් කිරීම අවශ්‍යය.

ඩොනල්ඞ් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තර`ග කරන බව අනාවරණය වූ අවස්ථාවෙ දී මාධ්‍ය මෙලෙනියාගෙන් ද අදහස් විමසා සිටියේය. ඇය කියා සිටි‍යේ මම ඩොනල්ඞ් ගැනත් ඔහුගේ දක්ෂතාවය ගැනත් හො`දට දන්නවා ඔහුට රට වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍යයි. ඇමරිකානුවන්ට ආදරය කරන අතර ඔහුට ඔවුන් වෙනුවෙන් යමක් කරන්නට අවශ්‍ය බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තර`ගය තුළ ඇයගේ කාර්ය භාරය කුමක්දැයි වතාවක් නිව්යෝක් ටයිම්ස් පුවත් පත ඇගෙන් ප‍්‍රශ්න කළේය. මෙලෙනියා ගේ උත්තරය වූයේ මම බොහොම සාම්ප‍්‍රදායික විය හැකි බවයි. බෙටී ෆෝර්ඞ් හෝ ජැකී කෙනඩි වගේ වේවි. මම ඔහුට සහාය දක්වනවා කියාය. බෙටී එරට තිස් අටවැනි ජනාධිපතිවරයා ගේ ආර්යාව වූ අතර ජැකී ඇමරිකාවේ තිස් පස්වන ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩිගේ ආර්යාව වූවාය.

එවැනි පසුබිමක් සහිතව පැමිණි ඇය ඉකුත් ජූලි 28 වැනිදා රිපබ්ලිකන් සම්මේලනයේ දී අපේක්ෂිත පළමු කාන්තාව වශයෙන් කතාවක් කරන ලද අතර ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වන්නේ එයයි. එහි කොටස් වත්මන් ඇමරිකානු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා කරන ලද කතාවක කොටස් බව අනාවරණය වූ පසු එම කතාව සටහන් කරන ලද නිලධාරිනියක ප‍්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වන්නට සූදානම් වු නමුත් එය භාර ගැනීමට ට‍්‍රම්ප් පවුල සූදානම් වූයේ නැත. ප‍්‍රකාශිකාව ස`දහන් කර සිටියේ ඇය මිචෙල් ඔබාමාට ඉතාම ගරු කරන අතර ඇයගේ අදහස් වලින් කොටසක් උපුටා දක්වන්නට ඉතා කැමැත්තෙන් සිටි බවය.

මෙම සිද්ධිය සමග මෙලෙනියා ජාත්‍යන්තරය තුල බලවත් කතාබහට හේතුවන තැනැත්තියක් බවට පත්වන්නීය. භාෂා පහක් කතා කරන්නට හැකියාව ඇති ඇය මීල`ග ජැකලයින් කෙනඩි විය හැකි බවට මතයක් පැතිර යමින් තිබේ. විවාදාත්මක අපේක්ෂක චරිතයක් බවට පත්ව ඇති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ප‍්‍රවේශය ගැන උනන්දු වෙන ඇමරිකානුවන්ට ඇය කියන්නේ නායකයෙකු වශයෙන් ට‍්‍රම්ප් හැසිරෙන සහ තීන්දු ගන්නා ස්වභාවය ගැන තමන් සමග සාකච්ඡා කරන නමුත් ඔහු ඔහුම බවයි. ට‍්‍රම්ප් යනු වෙනස් කෙනෙකු වන අතර ඔහු අනන්‍ය ආකාරයකට කි‍්‍රයා කරන බව ද දක්වන්නීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකම ආකාරයෙන් පවතින දෙයක් නොවේ. එහි දර්ශනය අලූත් අලූත් දේ එකතු වෙමින් නවීකරණයට ලක්වෙමින් පවතී. ලෝකයේ නොයෙක් රටවල එකිනෙකට වෙනස් මානයන්ගෙන් එහි ලක්ෂණ ප‍්‍රයෝජනයට ගනිමින් සිටී. අවස්ථාව ලැබෙන්නේ පුරුවැසියන්ටය. නායකයන් සහ නායකයන්ට ඉතාම සමීප චරිත තීන්දු ගන්නා ආකාරය හා හැසිරෙන ආකාරය දෙස මිනිසුන් බලා සිටිති. චරිත අතරින් තවත් චරිතයක් කතා බහට මතුවන්නේ ඔවුන් සතු අපූර්ව ලක්ෂණ හෙයින්ය. මෙලෙනියා ගේ ප‍්‍රවේශය සහ ඇය සිය ස්වාමියාගේ දේශපාලනය පිටුපස කරන කාර්යය තේරුම් ගැනීම අවශ්‍යය.