07/01/2024 - ඉරිදා ලංකාදීප
රට හදන්න බැරි ද ?
 
රට හදන්න බැරි ද ?

රට හදන්න බැරි ද ? කාලාන්තරයක් තිස්සේ නගන ප්‍රශ්නයකි. සැනසිල්ලේ ජීවත්වීමට හැකි වටපිටාවක් සහිත යහපත් රටක් ගොඩනගාගන්නට අපට හැක. අද පරම්පරාවටම එම භාග්‍යය අත්පත් කරගත හැකිය. ජාත්‍යන්තරයේ නිර්මාණය වන අවස්ථා, හමුවේ ප්‍රායෝගික තීරණ ගත් රටවල් ගණනාවකි. සමාජ හා ආර්ථීක පරිවර්තනයක් සදහා නවෝත්පාදන සැලැසුම්, නිවැරදිම මොහොතක දී ක්‍රියාත්මක කළ යුතුය.

ආර්ථීක වර්ධනය සියයට හය ඉක්මවීමෙන් හැර පවතින අර්බුදවලට විසදුම් නැත. බදු සංශෝධන, සහන ඛෙදාදීම, මිල සූත්‍ර හෝ ශ්‍රම බලකාය පිටරටකට යැවීම උත්තර නොවේ. මහවැලි බහුකාර්ය ව්‍යාපාරයෙන්, පරිවර්තනයක් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ පැවැත්ම මහා පියවරකින් ඉදිරියට හැරවිය යුතුය. එය ගැන විරුද්ධ මත තිබුණි. පරිසර හානිය හා ජනතාව අවතැන්වීම හුවා දක්වයි. සෑම තීන්දුවකම හොද නරක දෙපැත්තක් ඇත. දේශපාලන කෝණයෙන් බලන, විවේචනකාරී සමාජයක ජීවත්වන අප වැඩිදෙනෙකු අයහපත පමණක් සලකයි. ලබාගත හැකි වූ වාසි සසදාබලන්නේ නැත.

ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථීක ක්‍රමෝපායයන්ට ගැලපෙන තීරණ අවශ්‍යය. කෘෂිකාර්මික අපනයන ඔස්සේ ගමන් කළ හැකි ගමන සීමිතය. කෝපි වගාව විනාශ වූ පසු අධිරාජ්‍යවාදීහු තේ වගා කළේය. ලාබ ශ්‍රමය ඉන්දියාවෙන් ලබාගත්තේය. නිදහසට පසු ගැලපෙන ආර්ථීකයක් කාලානුරූපව සකස් කරගත්තේ නැත. අලූතින් එකතු වූයේ ඇගළුම් කර්මාන්තය පමණකි. එම කර්මාන්තයේ ද සීමාවක් තිබේ. විදේශ විනිමය උපයන මාර්ග වැදගත්ය. රැකියා උත්පාදනය, ජාතික ආදායම වැඩිකරගැනීම සදහා අලූත් උපාය සැලසුම් අවශ්‍යය. දුබලතා තුරන් කර දියුණුව සදහා වෑයම් කළ යුතු අතර නවීන ක්‍රමෝපාය උදෙසා තීන්දුගත යුතුය.

අලූත් තීන්දුවලින් පවතින රාමුව වෙනස්වන බවට බියක් ඇති කරගතහොත් කුඩා ආර්ථීකයක තව දුරටත් පවතිනු ඇත. රටට හා සංස්කෘතියට ගැලපෙන, අනන්‍යතාව ආරක්ෂා කරන මහා ව්‍යාපෘති සලකා තීරණ ගැනීම අවශ්‍යය. නොයෙක් රටවල් සමග ගනුදෙනු කරන අතර අනත්‍යතාව හා සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරගන්නට අතීතයේ දී සමත්වූ බව අමතක කළ යුතු නැත.

මෙහි දී, ශ්‍රී ලංකාව පිහිටීම අතිශය වැදගත්ය. වරාය, ගුවන්, බලශක්ති වැනි අංශවල ප්‍රධාන කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේ. ආසියාවේ ප්‍රධාන ආර්ථීක මෙහෙයුම් ඒකකය බවට පත්විය හැකිය. නෙදර්ලන්තය යුරෝපයට සැපයුම් දොරටුවක් වූ අතර හොංකොං චීනයට ප්‍රවේශය වී තිබේ. ඩුබායි මැද පෙරදිග කලාපයට කේන්ද්‍රස්ථානය වී ඇත. මානව සම්පත හා භූමිය හැර යමක් මෙම රටවලට තිබුණේ නැත. මෙම අංශවල වෙළද පොල හැසිරීමකට ශ්‍රී ලංකාව ඉඩ දිය යුතුය. ඉන්දියාව හා එයින් ඔබ්බට ඇති රටවලට සේවා සැපැයිය හැකි අවකාශයක් සකස් කළ යුතුවේ. එහි දී සමාජයට කරුණු ඒත්තු ගන්වන, සෑම දේශපාලන පක්ෂයකටම සත්‍ය අවබෝධකරවන සහ රජයේ නිලධාරීන්ට වගකීම් පවරන පරිසරයක් අවශ්‍යය.

කොළඹ වරාය මෙහෙයුම් මෙහි දී වැදගත්ය. දැනටත් වරාය භාවිතා කිරීමේ දී සියයට හැත්තෑවක් ඉන්දියාවටය. කාර්යක්ෂම හා පහසුකම් සහිත කොළඹ වරායේ පර්යන්තවලට කන්ටේනර් ගෙනැවිත් එතැන් සිට කුඩා නැව්වලින් කලාපයේ වරාය වෙත යොමු කළ හැක. භාණ්ඩ ප්‍රවාහනයටම විදුලිය දුම්රිය පද්ධතියක් ඉන්දියාව ඉදිකරයි. ඉන්දියාවේ සිට මැද පෙරදිග හරහා යුරෝපයට මාර්ග පද්ධතියක් ඉදිවන අතර ලබන වසරේ සිට මනිපූර් ප්‍රාන්තයේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වා අධිවේගී මාර්ගය විවෘතවේ. ඉන්දියාව යා කරන ගොඩබිම මාර්ගයක් ඉදිකළහොත් කොළඹ වරායෙන් පැටවෙන කන්ටේනර් පැය කිහිපයකින් දුම්රිය මගින් ඉන්දියාව, නේපාලය හා භූතානය හා එයින් පසු යුරෝපය දක්වා ප්‍රවාහනය කළ හැකිවේ. දුම්රිය මාර්ග තැනීම, විදුලිය දුම්රිය යෙදවීම ඇතුළු කටයුතුවලට විදේශ ආයෝජන ලබාගත හැක. ලෝකයේ මෙවැනි දොරටු නිර්මාණය වී ඇත. පැනමා ඇල, සහ සුවස් ඇල කැනීම එක පැත්තකි. බ්‍රිතාන්‍යයේ සිට යුරෝපය දක්වා මුහුද පත්ලෙන් සකස්කළ උමං මාර්ගය තවත් අවස්ථාවකි. ඉදිරියේ දී, ආර්ටික් මුහුද ඔස්සේ ආසියාවට පිවිසෙන උත්සාහයක නිරතය. කාලය හා ධනය ඉතිරි කරන මෙවැනි ක්‍රම විශාල ආර්ථීක නිර්මාණය කරයි.

බලශක්ති සංවර්ධනය තවත් පැත්තකි. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සූර්ය, සුළං සහ හයිඩ්‍රජන් ප්‍රභව මගින් විදුලිය උත්පාදනය කළ හැක. මෙහි ප්‍රමාදයට හේතුව ප්‍රතිපත්ති නොමැතිකම පමණකි. රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය මෙන් හය ගුණයක් සුළං බලයෙන් පමණක් නිපදවිය හැකිය. ඔස්ට්‍රේලියාවේ නිපදවන සුර්ය තාප විදුලිය සිංගප්පූරුවට සපයන රුහැන් පද්ධතියක් දැන් ඉදිවෙමින් පවතී. ඉන්දියාව ද මෙම පද්ධතියට එකතුවීමට කැමැත්ත පළ කර ඇත. භූතානයෙන් විදුලිය මිල දී ගන්නා ඉන්දියාව සිය අතිරේක විදුලිය නේපාලය, බංගලාදේශය හා මැලේසියාවට අලෙවි කරයි. සවුදි අරාබියට හා ඊශ්‍රායලය සමග විදුලිය ග්‍රිඩ් සම්බන්ධ කිරීමට ඉන්දියාව මෑතක දී තවත් ගිවිසුමක් අත්සන් කළේය. ඉන්දියාව සමග ග්‍රිඩ් සම්බන්ධ කළහොත් ශ්‍රී ලංකාවේ විදුලිය, දකුණු ආසියාව හා මැදපෙරදිග රටවල් දක්වා සම්ප්‍රේශණය කළ හැකිවේ. උත්පාදන පිරිවැය අඩුවීමෙන් එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට ලැබේ. අවාසනාවකට මෙම අලූත් අවකාශ ගැන වටහාගන්නට අසමත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මේවා රට විකුණන, රටේ සුළගත් විකුණන උප්පරවැට්ටි ලෙස අර්ථ දක්වති. දේශපාලන නර්මාලාපවලින් සැනසෙන අප සියළුම දෙනා රට තවත් බංකොලොත් වන අතර අපගේ දරුවන් පිටරටකට යවා සතුටුවෙන පිරිසකි. එම රටවල් දියුණුවූයේ කෙසේද? අපටත් එහෙම හිතන්නට බැරි ඇයි? මෙය පටු පරමාර්ථවලින් හැසිරෙන දේශපාලනඥයන්ගෙන් අහන්නේ නැත. සමාජය දැනුම හා අවබෝධය අතින් දුප්පත්ව සිටිනතාක්, පාක්ෂිකයන් පමණක් යැපෙන දේශපාලන ක්‍රමය පවත්වාගෙන යා හැකිය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළදාම එහි අතරමැදි සීමිත පිරිසකට වාසියකි. මාසයකට අවශ්‍ය ඉන්ධන නැව් පහක් හෝ හයක් ගෙන්විමේ දී යැපෙන ඔවුහු අද පවතින ඉන්ධන මිලට වගකිව යුතුය. දූෂණ හා වංචාවලට වඩා දරුණුය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නල මාර්ගයක් ඉදිකරන හා එය ත්‍රිකුණාමලය ටැංකි හරහා සම්බන්ධවුවහොත් විශාල ආර්ථීක වාසියකි. වැඩිම ඉන්ධන පරිභෝජනය කරන රටක් බවට ඉන්දියාව පත්ව ඇත. ඇරැම්කෝ සමාගම ලෝකයේ තුන්වැනි විශාලතම තෙල් ගබඩාව ඉන්දියාවේ ඉදිකරයි. රාජස්ථාන් ප්‍රාන්තයේ අලූත් තෙල් පිරිපහදුවක් ඉදිකරන අතර එය ග්‍රීසා පිරමීඩය මෙන් හය ගුණයකි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවට විශාල නමුත් ඉන්දියාවේ තෙල් අවශයතා ඉදිරියේ කුඩා බව මෙයින් පැහැදිලිය.

පුලූල් ජාත්‍යන්තර සම්බන්ධතා හා ආර්ථීක ප්‍රතිපත්ති ඔස්සේ මහා ව්‍යාපෘති තුළින් රට දියුණු කළ හැක. මානව සම්පත ශ්‍රී ලංකාවේ ඉහළම වත්කම වන අතර ලක්ෂ විස්සක පමණ පිරිසක් වෙනත් රටවලය. රට තුළ අවස්ථා නැති හෙයින් පිටරටක සේවය කරන්නට සිදුවී තිබේ. මහා ව්‍යාපෘති ඇරඹුවහොත් ශ්‍රමයට ඉල්ලූමක් ඇතිවේ. වරාය, බලශක්තිය හා ඉන්ධන හා සමානව ගුවන් කේන්ද්‍රස්ථානයකට ද ශ්‍රී ලංකාවේ පිහිටීම සුදුසුය. මේවා ගැන තීන්දු වහාම නොගැනිමෙන් අනාගතය තවත් අන්ධකාර වනු ඇත.