25/02/2024 - ජන හඩ
ලංකාවට නැතිවම බැරි ඉන්දියාව
 

මහා ආර්ථිකයකට භාරතයෙන් ලැබිය හැකි අවස්ථා

කුඩා ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක්‍රමෝපායයන්ට ගැළපෙන තීරණ ගැනීමට අවශ්‍යය. ජාතික ආදායම වැඩිකර ගැනීම ඉදිරියේ තරගකාරී ක්‍රම අනුගමනය කළ යුතුය. පවතින පරස්පරතා තුරන් කර දියුණුව සඳහා වෑයම් කළ යුතු අතර එහිදී, නුදුරින් ඇති විකල්ප සම්බන්ධයෙන් භීතියක් ඇති කර ගතහොත් දූපතක, කුඩා ආර්ථිකයක තවදුරටත් පැවැතිය හැකිය.

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව පිහිටීම වාසිදායක බව අතීත සිද්ධි පවා සලකා බලන කල පෙනෙයි. අධිරාජ්‍යවාදීහු මෙමපිහිටීමෙන් වාසි අත්පත් කරගන්නට සමත්වූහ. තේ, රබර්, පොල්, කුළුබඩු හා මුතු මැණික් එකල ඔවුන්ගේ අරමුණු විය. අලුත් තාක්ෂණය හා සන්නිවේදන අවස්ථා සමඟ නිෂ්පාදන හා වෙළෙඳ රාමුව පරිවර්තනය වී ඇත. යටිතල පහසුකම් එනම් වරාය, ගුවන් තොටුපොළ, බලශක්තිය, රටවල් අතර සම්බන්ධතා වැනි ක්‍ෂේත්‍ර ප්‍රධාන ආර්ථික හුවමාරු බවට පත්ව තිබේ. මෙම අංශ හේතුවෙන් දකුණු ආසියාවේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය බවට පත්විය හැකි අවස්ථාවක් ශ්‍රී ලංකාව සතුය.

ඇති නෙදර්ලන්තය යුරෝපයට සැපයුම් දොරටුවක් වූ අතර ඉන්දියාව හා එයින් ඔබ්බට ඇති රටවලට සේවා සැපයීමට ශ්‍රී ලංකාවට තිබෙන හැකියාව ඉහළය. ඉන්දියාව සමඟ ගනුදෙනු කරන හා එයින් ඔබ්බට විහිදෙන විශාල දැක්මක් සහිතව තීන්දු ගත යුතුව තිබේ.

උපාය මාර්ගිකව ඉන්දියාවට ඇතුළු වීම හා ඉන්දියාව හරහා යුරෝපයට හා මැද පෙරදිගට ප්‍රවේශ වීම ශ්‍රී ලංකාවේ පැවැත්මේ මහා සාධකය බවට හරවා ගත යුතුය. ඉන්දියාව අඛණ්ඩ භාරත් සංකල්පය අනුව දකුණු ආසියාවේ රටවල් සමඟ කටයුතු කරමින් සිටියි. අපට ඉන්දියාව වැදගත්ය. අඛණ්ඩ භාරත් සංකල්පයට එකඟ විය හැකිය. එයින් එපිටට විහිදෙන ක්‍රමවේද ගැන අලුතින් අවබෝධ කරගත යුතුය. ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව ගිල ගැනීමට ඉඩදීම වෙනුවට ජාත්‍යන්තරයට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රජාවට ඉලක්කවන රටක් නිර්මාණය කර ගැනීම අවශ්‍යය.

යුරෝපයට හා මැදපෙරදිගට දොරටුවක්

කොළඹ වරායේ භාණ්ඩ මෙහෙයුම් මෙහිදී වැදගත්ය. වරාය භාවිතා කිරීමේ දී මෙහෙයවන කන්ටේනර් වලින් සියයට හැත්තෑවක් ඉන්දියාවට යවයි. කොළඹ වරායට විශාල නැව් සේන්දු කළ හැක. ඉන්දියාවට එන භාණ්ඩ කොළඹට ගොඩබෑමෙන් පසු කුඩා නැව් වලින් නැවත ඉන්දියාවට පිටත් කරයි. ආර්ථික දියුණුව ලබන ඉන්දියාව ඔවුන්ගේ වරායක් ඉදිකර මෙම අවස්ථා පැහැර ගන්නට කලින් කොළඹ වරායේ පහසුකම් දියුණු කරන අතර ඉක්මනින් භාණ්ඩ යොමු කළ හැකි තරගකාරී ක්‍රම ඇති කළ යුතුය.

මේ පසුබිම අවබෝධ කරගෙන වරාය සංවර්ධනයට ආයෝජනය කරන අදානි සමාගමට ඇමෙරිකාවේ ප්‍රධාන බැංකුවක මූල්‍ය සහාය ලැබී ඇත. එය ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධ සාක්ෂියකි. වරායට එන භාණ්ඩ ඉන්දියාවට පැය කිහිපයකින් යැවිය හැකි ක්‍රමයක් දියුණු කළහොත් පිරිවැය සලකා ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථා ඇති වේ. භාණ්ඩ ප්‍රවාහන විදුලි දුම්රිය සේවාවක් ඇති කිරීම එයට ගැළපෙන අලුත් ආයෝජනයකි.

ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් යොදවා භාණ්ඩ ප්‍රවාහනයට වෙනම දුම්රිය සේවාවක් අරඹන්නට සූදානම් වෙමින් සිටියි. එයට සමාන්තරව තීරණ ගැනීමෙන් එක පද්ධතියක පහසුකම් ලබාගත හැකිය. දැනටමත් රටවල් දෙක අතර මාර්ග සම්බන්ධතා ඇති කිරීමට ප්‍රතිපත්ති වශයෙන් එකඟ වී ඇත. මෙවැනි ආයෝජන වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීමටද අවස්ථාව තිබේ.

ගොඩබිම මාර්ගය හා දුම්රිය මාර්ග ඉදි කළහොත් වරායෙන් පැටවෙන කන්ටේනර් පැය කිහිපයකින් ඉන්දියාව ඔස්සේ නේපාලය හා භූතානය වෙත ප්‍රවාහනය කළ හැකි වනු ඇත. පසුව මැද පෙරදිග රටවල් හා යුරෝපය දක්වා දුම්රිය පද්ධතිය විහිදුවන්නට හැකිය. විශාල වියදමක් දරා ගුවනින් යන ශ්‍රී ලාංකිකයන්ට පවා දුම්රියකින් යුරෝපයට ඇතුළු විය හැකිවනු ඇත. ශ්‍රී ලංකාවට සංචාරයට එන පිරිසට මෙය සැලකිය යුතු පහසුවක් බවට පත් වේ. බ්‍රිතාන්‍යයේ සිට යුරෝපය දක්වා මුහුදු පත්ලෙන් සකස් කළ උමං මාර්ගය මෙයට සමාන අවස්ථාවකි.

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වා අලුත් අධිවේගී මාර්ගයක් දැනට ඉදිවෙමින් පවතී. ඉදිකිරීමෙන් පසු වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හැත්තෑවක් බැගින් සම්බන්ධ රටවල ආර්ථිකය ප්‍රසාරණය වනු ඇතැයි සැලකේ. ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට ද මෙයට එකතු විය හැකිය. මෙවැනි අදහස් රටට අලුත් ධනය උත්පාදනය කරන අතර රැකී රක්ෂා ඇති කරන මහා සැලසුම් බව සඳහන් කළ යුතුය. මෙකී ආයෝජන අවස්ථාව ඇති කළ හොත් පසුබිම පුළුල්වන රාමුව තුළ ද අලුත් ව්‍යාපාරික පරිසරයක් සැකසෙයි.

විදුලිය බලශක්තිය සංවර්ධනයට තවත් පියවරක්

ලෝකයේ බලශක්ති අවශ්‍යතාව තවත් පැත්තකි. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සූර්ය තාප, සුළං බලාග භාර හා හරිත හයිඩ්‍රජන් වැනි ප්‍රභව මඟින් විදුලිය උත්පාදනය කළ හැකිය. රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය මෙන් හය ගුණයක් මන්නාරම හා අවට ඇති සුළං බලයෙන් නිපදවිය හැකි බව කියැවෙයි. විදුලිය ද සන්නිවේදන තාක්‍ෂණය හා සමානව ජාලගත වන ප්‍රවණතාවයක පසුවේ.

ඔස්ට්‍රේලියාවේ සූර්ය තාප විදුලිය නිපැයුම් මිලදී ගැනීමට සිංගප්පූරුව ගිවිසුමක් අත්සන් කර ඇත. භුතානයෙන් විදුලිය මිලදී ගන්නා ඉන්දියාව එහි අතිරේක විදුලිය නේපාලය, බංග්ලාදේශය හා මැලේසියාවට අලෙවි කරමින් සිටියි. මේ අතර සවුදි අරාබියට හා ඊශ්‍රායලය සමග විදුලිය ග්‍රිඩ් සම්බන්ධ කිරීමට ඉන්දියාව අලුත් ගිවිසුමක් අත්සන් කර තිබේ. හුදෙක් ඉන්දියාවට විදුලිය සැපයීම යන ආකල්පයට වඩා විශාල දැක්මක් රටට අවශ්‍යය. ජාත්‍යන්තරයේ පැතිරෙන ග්‍රිඩ් සම්බන්ධතා ඔස්සේ විදුලිය බලය විකිණිය හැකි පරිදි සංවර්ධනය කළහොත් ශ්‍රී ලංකාවේ විදුලිය සිංගප්පූරුව, දකුණු ආසියාව හා මැද පෙරදිග රටවල් දක්වා සම්ප්‍රේෂණය කළ හැකිය.

ත්‍රිකුණාමලය අවට සුළං බලාගාර සමඟ නවීන තාක්ෂණයෙන් සමන්විත ද්‍රව හයිඩ්‍රජන් නිෂ්පාදනය කළ හැකි අතර විදුලිය උත්පාදනයට හා අපනයනයට උපයෝගී කරගත හැකිය. නැගෙනහිර පළාතේ ඇති ඛනිජ වැලි සඳහා ද අගය එකු කරන වටිනාකමක් ඇති කරන අවස්ථා නිර්මාණය කර ගත හැකිය. මෙවැනි පරිවර්තනයක් සමඟ උතුර හා නැගෙ නහිර ආර්ථික වශයෙන් දියුණු වන කාර්යබහුල තැනක් බවට පත්වන බව නිසැකය. එම පළාත්වල ජනතාව දුප්පත් භාවයෙන් මිදීම සමග පවතින සංකීර්ණ ගැටලුවලට විසඳුම් ලැබේ.

ඛනිජ තෙල් වෙළඳාමට ඇතුළුවීම තවත් පියවරකි

ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය සමාගම් සිංගප්පූරුව තෝරා ගැනීම එරට සංවර්ධනයේ පදනම වූ බව සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ කියයි. මෙම ක්‍ෂේත්‍රයේ අහිමි වූ අවස්ථා රටට නැවත අත්පත් කරගත හැකිය. ඛනිජ තෙල් පිරිපහදුව හා ගබඩා කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වශයෙන් ත්‍රිකුණාමලය දියුණු කරන්නට අවකාශයක් තිබේ. වාර්තා දක්වන පරිදි පිරිපහදු ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සියයට තිහක හිඟයක් ඉන්දියාවට ඇත. වසර 2040 වන විට එය දෙගුණ වෙතැයි දැක්වෙයි. සවුදි අරාබිය, එක්ස් අරාබි එමිරේට්ස් වැනි රටවල් සමඟ අලුත් සාකච්ඡා අරඹන ඉන්දියාව ඒ රටවල් වලින් තෙල් මිල දී ගැනීමටත් අනාගත අවශ්‍යතා සලකා අලුත් පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සැලසුම් කරයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳාම මාසයකට අවශ්‍ය ඉන්ධන නැව් පහක් හෝ හයක් ගෙන්වන සහ අතරමැදි කණ්ඩායම් එයින් යැපෙන කුඩා ව්‍යාපාරයකි. මෙම ධාරිතාව පුළුල්කර ඉන්ධන පිරිපහදු ආයෝජනවලට ඉඩ දීමෙන් අලුත් ආර්ථිකයක් හැදෙයි. සවුදි අරාබියේ ඇරැම්කෝ සමාගම තෙල් ගබඩා කිරීම සඳහා ලෝකයේ තුන්වැනි විශාලතම මධ්‍යස්ථානය ඉන්දියාවේ ඉදිකරන්නට සූදානම් වෙයි. රාජස්ථාන් ප්‍රාන්තයේ අලුත් තෙල් පිරිපහදුවක් ඉදි කරන අතර මෙම දැවැන්ත ව්‍යාපෘතිය ග්‍රීසා පිරමීඩය මෙන් හය ගුණයකි. මෙය අවශ්‍යතාවයෙහි ප්‍රමාණය හඳුනා ගැනීමට සංකේතයකි.

ඉන්දියාවට අවශ්‍ය තෙල් සැපයීම සඳහා සවුදි අරාබිය, ඉරානය හා රුසියාව ඉදිරිපත්ව සිටියි. තොග මිලදී ගැනීමේ දී අඩු මිල ගණන් වලට සපයන ගිවිසුම් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තෙල් නළ මාර්ගයක් ඉදිකර එය ත්‍රිකුණාමලය ටැංකි හරහා සම්බන්ධ වුවහොත් සහ විශාල පිරිපහදුවක් ගොඩනැඟුවහොත් රටට විශාල ආර්ථික වාසියක් ලැබෙයි.

මානව සම්පත හොඳ ශක්තියක් බවට හැරවීම

වරාය, විදුලිය හා ඉන්ධන හා සමානව ගුවන් කේන්ද්‍රස්ථානයකට ද කොළඹ පිහිටීම සුදුසුය. දැනටමත් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය දක්වා යන ඉන්දීය මගීහු කොළඹට පැමිණෙති. ඩුබායි හි විශේෂ කවුළුවක වීසා පරීක්ෂා කිරීමෙන් පසු ඇමෙරිකාවට ඇතුළුවන අවසරය එහි දී සැපයෙන අතර යානයෙන් පිටවන මගීන්ට අපහසුවකින් තොරව වහාම පිටත් විය හැකි පරිදි සේවා ක්‍රම වෙනස් වී තිබේ. කටුනායක ගුවන්තොටු පොළ නවීකරණය හා තාක්ෂණයෙන් බලගැන්වීම සමග මෙවැනි වෙනස්කම් ඇති කළ හැකිය. එය අලුත් සංකල්පයකි.

ඉන්දියාව අලුතින් ගුවන් තොටුපොළ සංවර්ධනය කරන අතර ඉන්දීය එයාර් ඉන්දියා සමාගම මගී ප්‍රවාහන ධාරිතාව පුළුල් කරන අරමුණෙන් අලුත් ගුවන් යානා හත්සිය පනහක් ඇණවුම් කර තිබේ. ඉන්දියාවේ තවත් පුද්ගලික ගුවන් සේවාවක් වන ඉන්ඩිගෝ සමාගම අලුත් යානා පන්සියයක් ඇණවුම් කිරීමත් සමඟ කලාපයේ ගුවන් ගමන් විශාල වශයෙන් දියුණු වෙයි.

කටුනායක හා මත්තල යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියානු සේවා ජාලයට ඇතුළු කළහොත් රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට හා අන්තර් ජාතික මගී හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අතරින් සියයට විසිපහක් ඉන්දියානුවෝය.

නිදහසට පසු කාලයේ කර්මාන්ත හා ව්‍යාපාර වලින් ඉදිරියට පැමිණ ජාත්‍යන්තරයට ඇතුළුවන අවස්ථාව තිබුණි. අනෙක් බලවත් රටවල උපාය අනුව තීක්ෂණව ක්‍රියා කරන්නට ශ්‍රී ලංකාව අපොහොසත් විය. ජාත්‍යන්තර ප්‍රවණතා හඳුනා ගෙන උපායශීලීව ගමන සැලසුම් කළේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. ලෝකයේ හැසිරීම ගැන පවතිනදුර්මත හා පටු ආකල්ප ඉක්මවන තීරණ ගැනීමට වර්තමාන සමාජය සූදානම් විය යුතුය.

ආර්ථිකය පුළුල් කරන හා ජාත්‍යන්තරය සමඟ බැඳීම් ඇති කර ගැනීම ගැන භීතියක සිටීම අවශ්‍ය නැත. ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව යටත් කර ගන්නට ඉන්දියාව උත්සාහ කරන බව හුවා දැක්වීම වෙනුවට ඉන්දියාවේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි අවස්ථා ගැන අලුත් කෝණයකින් පරීක්ෂා කර බැලීම වැදගත්ය. පළමුවෙන් සඳහන් කළ ආකාරයට මේ සඳහා නිර්භීත භාවයක් ආත්ම ශක්තියක් සහ රටට ගැළපෙන ක්‍රම වේදයක් ඉතාම වැදගත්ය.

(මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org වෙත යොමු කරන්නේ නම් මැනවි)