» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/02/2014 - ඉරිදා ලංකාදීප
දේශපාලනයට පැමිණීම සහ නිසි කළ ඉවත්වීමට ඇති ආත්ම ශක්තිය - මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට රට ගැන බලවත් ආදරයක් ඇත. මෙරට ඇවතුම් පැවැතුම් සහ සංස්කෘතිය ඉදිරියට ආරක්ෂා වන්නේ ලාංකේය ජන ප්‍රජාව තුළ ඇති මහත් කැපවීම නිසා බව පැහැදිලිය. නිදහසේ ජීවත්වීමට රට හැර වෙනත් තැනක් ගැන නොසිතන බහුතරයක් අප අතර සිටී. එම පදනම යුක්ති සහගතය. මහජනතාව තමන්ගේ පාලනය උදෙසා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගනී. කලින් කලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. මහජනතාවගේ අදහස් අනුව වැඩිදෙනාගේ කැමැත්තෙන් පත්වන නියෝජිතයන් ක්‍රියාකරන්නේ මෙරට යහපත වෙනුවෙනි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාගන්නා මහජන නියෝජිතයන් තම බලය අතහැර දමන්නට සූදානමක් නැත. එය අද මෙරට දේශපාලනයේ දක්නට ඇති කරුණකි. අනෙක් අතට එම මැති ඇමැතිවරු තරම් ජනතාවගේ නිග්‍රහයට පත්වන අන් පිරිසක් ද නැත.

නිදහස ලබා ගැනීමෙන් පසු ගත කළ කාලය දෙස ආපසු හැරී බලන විට දේශපාලනය හා දේශපාලනඥයා බරපතල පිරිහීමකට ලක්ව තිබේ. මේ මගේ නායකයා යයි ආඩම්බරයෙන් කියන්නට හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනෙක් ගැනද? නමුත් මහජන නියෝජිතයන් ජනතා කැමැත්තෙන් පත්වූ පිරිසකි. ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම පහසු දෙයක් නොවේ. විශාල කැපවීමක් එයට අවශ්‍යය. දිවා රාත්‍රී වෙහෙසී වැඩ කළ යුතුය. එදා තමුන්ගේ හැකියාව දක්ෂතා හා මිල මුදල් දේශපාලනය වෙනුවෙන් කැපකළ පුද්ගලයන් සිටියේය. අද දේශපාලනයට පැමිණෙන බහුතරයක් උත්සාහ කරන්නේ එය වෘත්තියක් කර ගැනීමටය.

මුල් කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් සියලූ දෙනා ආණ්ඩුකාර පාලනයට අනුමත කරන පිරිසක් විය. 1889 පමණ වන විට මෙම මන්ත්‍රණ සභාවට උඩරට, පහතරට සිංහල නියෝජනය හා සෙසු ජනවර්ග නියෝජිතයන් ද ඇතුලත්ව තිබේ. අන්තිමේදී 1948 වන තෙක් මෙම නියෝජිතයන් තෝරා ගැනීමේදි මූලික පදනම වුයේ ආර්ථීක පසුබිමක් සහිත ඉඩම් හිමි ධනවතුන්ය. ඔවුන් යටත් විජිත පාලනයට සමීපය. තාන්න මාන්න ගැනීමෙන්ද ආණ්ඩුවේ නොයෙකුත් සේවා හා කොන්ත්‍රාත් ඉටු කිරීමෙන්ද පාලකයන්ගේ හිත දිනාගත් පුද්ගලයන්ය. උපයා ගත් ධනය යළි සමාජයේ පොදු වැඩ කටයුතු සඳහා යොදවන පිරිසකි. නිදහස ලැබූ මුල් වකවානුවේ සමාජ නායකයන් දේශපාලනයට එකතු වූයේ කීර්තිය හා සමාජ පෙලැන්තිය අරමුණු කරගෙනය. යහමින් මුදල් තිබූ මෙම කණ්ඩායමට දේශපාලනය හරහා උපයා ගැනීමේ උවමනාවක් නොතිබිණි. මෙම සියලූ දෙනා නියෝජනය කළේ මෙරට නිදහස සමග ඇතිවූ නව ධනේශ්වරයයි. නිදහස් ලංකාවේ පාලනය අතට ගන්නට තරම් දැනුම අවබෝධය තිබුණේ ඔවුන් සතුවය. අනෙක් පැත්තෙන් දේශීය රුඩිකල් නොවූ ජනතාව මෙම නායකත්වය විසින් පෙන්නුම් කරන මාවත පිළිගැනීමට සූදානම්ව සිටියහ.

ප්‍රාදේශීය වශයෙන් ද සමාජයේ නායකත්වය ගත්තේ ගම්මුලාදෑනීන්ය. වෙල් විදානේ වරුන්ය. මැම්බර් යන නමින් ආමන්ත්‍රණය ලැබූ ගම්සභා නියෝජිතයන්ය. ඔවුන් කිසි විටෙක සිට යුතුකම් හා ආදායම් මාර්ග පටලවා ගත්තේ නැත. ගම්මුලාදෑනීයා ගමේ දුගී දුප්පතුන්ගේ හෝ පිහිට ලැබිය යුතු අයගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටියේ නමුත් එය හරහා ආණ්ඩුවෙන් යමක් උපයා ගැනීමේ අදහසක් නොවීය. වෙල් විදානේ කිසි විටෙක ගමේ ඇල, වේලි හෝ වැව පිළිසකර වන විට කොන්ත්‍රාත් තමන්ට ගෙන යමක් උපයාගන්නට උත්සාහ කළේ නැත. තම ප්‍රදේශයේ මාවතක් ප්‍රතිසංස්කරණය වන විට ගම්මුන් පවා දායක කරගනිමින් එය යහපත් ලෙස කරගන්නට වෙහෙසුනා විනා එයින් ලාභයක් අත මිට මොලවා ගන්නට ගම්සභා නියෝජිතයා ප්‍රයත්න දැරුවේ නැත.

නමුත් අද වන විට ප්‍රාදේශීය දේශපාලනයේ සිට ජාතික නායකත්වය දක්වා දේශපාලනය වෘත්තීයකි. වෙනත් රුකියාවක නිරතවෙමින් හෝ ඉඩකඩම් වැනි දේපොල ඇතිව සමාජ සේවාවක් ලෙස දේශපාලනය තෝරා ගත් පිරිස වෙනුවට අද ඇත්තේ දේශපාලනය තම වෘත්තිය ලෙස සලකා කටයුතු කරන පිරිසකි. කැපවීම ගැන බලාපොරොත්තු තැබිය හැකි පිරිස සීමිතය.

මහජන නියෝජිතයන් සේ පාර්ලිමේන්තුවට එන්නට උත්සාහ කරන්නේ යමක් කමක් ඇති පිරිස නොවේ. ඉදිරිපත් වන්නේ තමන්ගේ උවමනා එපා කම් විනා සමාජයේ යුතුකම් හා වගකීම් ඉටු කරන්නට දෙවනුව සිතන පිරිසක් බව පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ මහජන නියෝජනය වෙනුවෙන් ඉදිරිපත් විය යුත්තේ වරප්‍රසාද සහිත පිරිසක් පමණක්ය යන්න මෙයින් අදහස් නොවේ. නමුත් අද පවතින දේශපාලන ක්‍රමය නිසා ඇතැම් දේශපාලනඥයන් සම්පූර්ණයෙන් නඩත්තු කරන්නට සමාජයට සිදුව ඇත. එය හානිදායකය. ඇතැම් මහජන නියෝජිතයන් වටා සිටින්නේ මහජනතාව නොවේ. වැරදි මාර්ගයෙන් හෝ සමාජය නොඉවසන දූෂිත ක්‍රමවලින් ධනය උපයාගත් පිරිසය. මහජන නියෝජිතයන්ට ස්ථාවර තරම් ආදායමක් නොලැඛෙන විට නොයෙකුත් උපක්‍රම හරහා ඔවුන් ගොදුරු වන්නේ මෙම කණ්ඩායමටය. මැතිවරණය විශාල වියදම් සහගත එකකි. එයට වැය කරන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට හැකියාවක් නැත. සමාජය ගරු කරන බොහෝ දේශපාලන නායකයන් අතරට ඇතුල්ව ඇති මෙවැනි සිද්ධි නිසා දේශපාලනයේ නිරත සියලූ දෙනා හොරුන් සහ වංචාකාරයන් හැටියට දකින්නට සමාජය හුරු වී සිටී. ප්‍රතිපත්ති ගරුකව අවංකව පෙනී සිටියත් සමාජය ඒ ගැන ද සැක කරන ස්වභාවයක් ඇතිව තිබේ. සමාජයේ නායකයන් ලෙස බැබලෙන දේශපාලන පිරිසක් අද රටට උවමනාය. තමුන්ගේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන් බාර දෙන්නට හැකි නායකත්වයක් අපි අපේක්ෂා කළ යුතුය.

පහලම මට්ටමේ සිට ඉහලම තනතුර දරන්නා තෙක් ගමන් කරන්නට සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයෙකුට සාධාරණ අවස්ථාවක් තිබිය යුතුය. බලයේ රැ`දී සිටීම එකම අරමුණ නොව තමන්ගේ යුතුකම ඉටු කිරීමෙන් අනතුරුව ආපසු සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත් වන්නට දේශපාලනඥයන්ට හැකියාව තිබිය යුතුය.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව දේශපාලනයට පැමිණෙන පිරිස එහි අඛණ්ඩව රැ`දී සිටින්නේ නැත. බලයට පැමිණ ප්‍රතිපත්ති අනුව රටට සේවය කරන අතර ඡන්දයෙන් පරාජය වූ විට පුද්ගලික අංශයේ හෝ රජයේ ආයතනයක හෝ වැඩට යාම සාමාන්‍ය ක්‍රමයයි. දේශපාලනයට එකතුවන්නේ මතයක් සහ දර්ශනයක් ඇති පිරිසකි. දේශපාලනයෙන් ඉවත්වන විට ඔවුන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නට නොයෙක් ආයතන සූදානමින් සිටී. විශ්ව විද්‍යාල ඇතුලූ නොයෙක් ආයතන උපදේශක මට්ටමින් බ`දවා ගනී. පක්ෂ, විපක්ෂ බේධයක් නැතිව රජයේ හෝ පුද්ගලික අංශයේ ආයතන වලට සම්බන්ධවී වැඩ කරන්නට අවස්ථාව ලැබේ. වඩාත්ම ජ්‍යෙශ්ට දේශපාලනඥයන්ට ඇමරිකාවේ සෙනෙට් සභාව, බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලය සහ ඉන්දියාවේ රාජ්‍ය සභාව වැනි තැන් ඇත. ගරු කටයුතු ආකාරයට ඒවායේ සේවය කරන පරිනත දේශපාලනඥයින් ක්‍රමය පෝෂණය කරන්නට ආකාරයට ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ එවැනි අත්දැකීම් නැත. තමන්ට බලය අහිමි වුවහොත් අසරණ වන බවට පොදු අදහසක් තිබේ. කවර ආකාරයකින් හෝ අපේක්ෂකත්වය ගන්නට, කවර මිලක් ගෙවා හෝ යළි බලයට එන්නට තැත් දරන්නේ එහෙයින්ය. අසාර්ථක වුවහොත් රජයේ ආයතනයක ප්‍රධානියෙකු වන අතර නොඑසේ නම්තානාපති ධුරයකට හෝ පත්වෙයි.

දේශපාලනයට අලූත් පුද්ගලයන් එකතු වීමක් නැති හෙයින් අලූත් අදහස් එතැන බිහි වන්නේ නැත. දේශපාලන අත් දැකීම් ඇති ඡේශ්ටයන් යළි සමාජයට ප්‍රවේශ වී තමන්ගේ අදහස් හුවමාරු කරගන්නට සූදානමක් නැත්නම් සමාජ ප්‍රගමනයට මග පෑදෙන්නේ ද නැත. දේශපාලනය යනු අලූතින් පුද්ගලයන් එකතුවන සහ එතැනම නොසිට අලූත් දේ සොයා යන පුද්ගලයන් ගැවසෙන තැනක් බවට අද පත් විය යුතුව තිබේ. සමාජ ගරුත්වය දිනාගත හැක්කේ එවිටය. දේශපාලනය සහ දේශපාලනඥයන් යනු සමාජයේ යම් වටිනාකමක් ඇති කණ්ඩායමකි. නමුත් අද වන විට බලය වෙනුවෙන් තනතුරු වෙනුවෙන් ක්‍රියාකරන ආකාරය අනුව මහත් අප්‍රසාදයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල තත්ත්වය එබ`දුය. ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයේ ඉහලට එන දේශපාලනඥයන් වැඩි කාලයක් යන්නට මත්තෙන් පිරිහී ජනතාවගෙන් දුරස්ථ පිරිසක් බවට පත්වන අතර අද පවතින සංකීර්ණ සමාජ ආර්ථීක පසුබිම ද එයට එක හේතුවකි. නමුත් දේශපාලනයට ප්‍රවේශවීම සහ තමන්ගේ වගකීම ඉටුකර නිසි කලට නික්ම යාමට තීන්දුවක් නොගැනීම එයට වඩා බරපතල ලෙස බලපාන කරුණ වී ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.