» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/03/2012 - ඉරිදා ලංකාදීප
ආකල්ප වෙනසක් තුළින් ආර්ථික පෙරැළියකට - මිලින්ද මොරගොඩ

පශ්චාත් යුධ පරිච්ඡේදය රටට මහත් අවස්ථාවක් උදා කරනු ඇතැයි අපේක්ෂා ගොඩනැගින. දශක තුනක් පමණ ආර්ථිකයට හා සමාජයට විශාල බාධාවක් වූ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට හැකිවීම රටට විශාල ප‍්‍රාග්ධනයකි. එය නිසි අන්දමින් ආයෝජනය කර රට ගොඩනගන්නට ශක්තිය උපයාගත යුතුය.

මෙරට නිදහසින් පසු ගතවූ කාලය කාලපරිච්ඡේදයෙන් අඩක් වැය වී ඇත්තේ සිවිල් ගැටුම් වෙනුවෙනි. යුද්ධයකින් පසු රටක ගොඩනැගිය යුත්තේ අනන්‍යතාවයයි. ආර්ථික ශක්තියයි. රටවල් අතර පැවති යුද්ධයකින් පසු අනන්‍යතාවය ගොඩනැගීම සංකීර්ණය. එකම සමාජයක් තුළ පැවති යුද්ධයකින් පසු පොදු අනන්‍යතාවය මතුකිරීම බරපතල එකකි. මහජනතාවගේ අපේක්ෂා ඉහල මට්ටමක තිබීම එයට බලපාන හේතුවකි. බලාපොරොත්තු ඉටු කිරීම රජයට අභියෝගයක් බව පෙනෙන්නට තිබේ. නිදහස ලබන අවස්ථාවේ ලංකාව පසුවූයේ ආර්ථිකය ශක්තිමත් අවස්ථාවකය. ආසියාවේ රටවල් අතරින් සිංගප්පූරුව හෝ තායිවානය සිටියේ අපට පිටුපසින්ය. ජපානයේ ආර්ථිකය ද ලංකාවට සමාන තත්ත්වයක පසුවිය. මෙම රටවල් දැනි සිටින්නේ රටට ඉදිරියෙන්ය. දකණු කොරියාව වැනි රටවල් පවා ශ‍්‍රී ලංකාවට වඩා සෑහෙන ඉදිරියට පැමිණ සිටී.

පළමුවෙන් රට ගැන නිසි තක්සේරුවකට යා යුතුය. ඉන්පසු අභියෝගය තේරුම්ගත යුතුය. ඉලක්කගත වැඩසටහනක් සම්පාදනය කළ යුතුය. මෙම ඉලක්ක කෙටි කාලීන සහ දිගු කාලීන විය හැකිය. මහජනතාව ඉක්මනින් සහන බලාපොරොත්තු වන අවස්ථාවේ එයට අනුරූප විය යුතු අතර ම අනාගත පරපුරේ අපේක්ෂා මුදුන්පත් කරන දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ගත යුතුය. ආපසු හැරී බලනවිට රටට සැලසුම් තිබී ඇත්තේ දේශපාලන න්‍යාය පත‍්‍රය අනුවය. මැතිවරණය එයට සාධකයකි. දිනන්ට හා ඊළග මැතිවරණය තෙක් ඇති මහජනතාව රවටන ආර්ථික සැලසුම් වලින් රටක් දියුණු කරන්නට නොහැකිය. රට දියුණු කිරීමේ ඉලක්කයකට ගමන් කිරීමේ දී අධිශ්ඨානය වැදගත්ය. ජාත්‍යන්තරය අප ගේ කොන්දේසි වලට අවනත වෙතැයි තීරණය කිරීම අයහපතකි. ශ‍්‍රි ලංකාව අනන්‍යතාවය රැකගෙන ලෝක ප‍්‍රජාව හා ගනු දෙනු කිරීම අවශ්‍යතාවයයි. ගෝලීයකරණයෙන් සහමුලින්ම ඈත්වීමේ හැකියාවක් රටට නැත. ආර්ථීක විද්‍යාවක් අලූතින් හදුන්වා දීම අපහසුය. අප කළ යුත්තේ පවතින යථාර්තය රටට ගලපා ගැනීමයි. ලෝකයේ ආර්ථික හැසිරීම පාලනය කරන්නට උත්සාහ කිරීමට වඩා ගලපා ගන්නට සමත්වීම රටට බලවත් ශක්තියකි.

පසුගිය සති කිහිපය තුළ රජයට ගන්නට සිදුවූ තීන්දු මහජනතාව බලවත් දුශ්කර තත්ත්වයකට පත් කළේය. මහජනතාව විරෝධය පළකරන අතර එය ඉතා බැරූරුම් අවස්ථාවකි. ඉන්ධන මිල ගණන් වැඩි කිරීම එකකි. රැුපියලේ අගය දෙවැන්නයි. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල වැඩිවෙමින් පැවති අතර එය රටට පාලනය කළ නොහැකි තත්ත්වයකි. රටේ ආනනයන වියදම් වැඩිවිය. විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය එසේ ම පවත්වාගෙන යා නොහැකි වූ අතර එකී තීරණය අපනයන වෙළද පොල කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. ප‍්‍රතිඵලය වූයේ වෙළද පරතරය ඉහළ යාමයි. රටට ගෙන එන තෙල් මිලෙන් සිදුවන අලාභ යම් ප‍්‍රමාණයකින් පියවා ගැනීමට රට තුළ අලෙවිකරන ඉන්ධන මිල වැඩි කරන ලද අතර විනිමය අනුපාතිකයට අනුව අවප‍්‍රමාණය වූ රැුපියලේ අගය මෙරටට ආනයනය කරන සියලූ දේ මිල වැඩි කරන ලද්දේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය මාස දෙක තුළ උද්ධමනය අඩුය. නමුත් මහජනතාව පෙන්වා දෙන්නේ තම ජීවන වියදම දරා ගත නොහැකි බවයි. ඉන්ධන මිල සමග විදුලිය ගාස්තු, ප‍්‍රවාහන වියදම් ඉහල ගියේය. ප‍්‍රවාහනය හා විදුලිය වැනි බලශක්තිය නිෂ්පාදන හා සේවා වලට අත්‍යවශ්‍යය. එහි සියුම් බලපෑම තවමත් පැතිරෙමින් තිබේ. එය පාලනය කිරීම පහසු නැත. කළයුතු ආර්ථික වර්ධනයකට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයයි. ආර්ථිකය දියුණුවන විට අලූත් ආදායම් මාර්ග බිහිවී, පොදු ජනතාවගේ අතට ලැබෙන මුදල වැඩිවන අතර එය අධික වියදම් පියවා ගැනීමට ඉඩ සලයසි.

ලෝකයේ අත්දැකීම් විමසා බලනවිට යුද්ධ හෝ කැරළි කෝලාහල දිනා ගන්නා ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හමුවේ පරාජය වෙයි. එයට ඇති හොදම උදාහරණය දෙවැනි ලෝක යුද්ධය දිනූ බි‍්‍රතාන්‍ය වින්සන්ට් චර්චිල් රජයේ පරාජයයි. හේතුව මහජනතාවගේ අපේක්ෂාවන් සීමා රහිත වීමයි. මහජනතාව යුද්ධයේ දී තමන්ට හැකි සියලූ කැපකිරීම කරති. භාණ්ඩ මිල වැඩි වීම, වැඩියෙන් බදු ගෙවන්නට සිදුවීම හෝ රැකියා හිගකම් ගැන මැසිවිලි නොකියති. නමුත් එයින් පසු උදාවන සාමකාමී අවස්ථාවේ දී යුද්ධයෙන් බැට කෑ මහජනතාව තම සියලූ අගහිගකම් තුරන්කරන ලෙස බල කරන්නේ රජයටය. මෙම තත්ත්වය වටහා ගන්නට අසමත් වන ආණ්ඩු මැතිවරණ හමුවේ පරාජයට පත්වෙති. මෙම යථාර්ථයට එපිටින් යමින් යුද්ධය අවසන් වී ඉතා කෙටි කලක් ඇතුලත පවත්වන ලද මැතිවරණ ගණනාවකින් ජයග‍්‍රහනය අත්පත්කරගෙන ඇති වත්මන් රජය රට අලූත් යුගයකට යොමු කළ යුතුය.

සමාජය එකමුතු කිරීම, විශ්වාසය ඇති කිරීම, විනිවිද පෙනෙන අන්දමට කි‍්‍රයා කිරීම හා අධ්‍යාපනය එහිලා පළමු අවශ්‍යතාය. මෙම ප‍්‍රධාන කරුණු යුක්තිසහගතව සාක්ෂාත් කිරීම මගින් තරගකාරී හා සාධාරණ සමාජ රාමුවක් බිහිකළ යුතුය. ධනය උපදවන්නේ පුද්ගලික අංශය බවත්, මහජනතාව සාධාරණව රැකබලා ගැනීම ආණ්ඩුවක වගකීම බවත් අමතක නොකිරීම අවශ්‍යය. පෞද්ගලික අංශයට ව්‍යවසාය ඇති කරන්නටත් ව්‍යාපාර බිහි කරන්නටත් අවශ්‍ය පසුබිම හා නීති රීති සකස් කර දිය යුත්තේ රජයයි. යුද්ධයක සිදුවන්නේ ධනය වැයවීම විනා ඉපදවීම නොවේ. රටක ඒකීයත්වය හා ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍යය සටන් කරයි. එයට ධනය අවශ්‍යය. යුද්ධයට වියදම් කරන්නේ උපයන ධනයයි. යුද්ධය ආරක්ෂක හමුදා පාලනය කරන රජය සතු වගකිමකි. නමුත්, ආයෝජන ඇතිකර ධනය උපදවන කාර්ය භාරයේ දී වඩා ඉදිරියෙන් සිටින්නට සමත්ව ඇත්තේ පෞද්ගලික අංශය බව ලෝකය පුරා තහවුරු වී ඇති සත්‍යයි.

ආර්ථීක වර්ධනයක් කරා ගමන් කරන්නට ගත හැකි කි‍්‍රයාමාර්ග අතර සමාජය ඒකාබද්ධතාවය ප‍්‍රධානය. බේධ නොතකා මහජනතාව එකතු කිරීම, එහි වැදගත්කමයි. පොදු අවස්ථා ඇති බව පෙනෙන විට සියලූ දෙනා අලූත් ආයෝජන, ව්‍යාපාර පටන්ගනී. මේවා විශාල ව්‍යාපාර ම විය යුතු නැත. කුඩා ව්‍යවසායකයන්, අලූත් දෑ තනන්නන් එකතු වීමෙන් මහා බලයක් ගොඩ නැගේ. එය ආර්ථික ශක්තියයි. විනිවිද පෙනෙන ආකාරයට රජයේ කි‍්‍රයාපාටිය ගෙනයාම එයට පිටිවහලකි. නිසි අධ්‍යාපනය එහිලා වැදගත් දර්ශකයකයක්ය. අලූත් දැනුම එකතුවන විට තමන්ට අවස්ථාව ඇති බව පෙනෙනවිට අලූත් ව්‍යවසායකයෝ බිහිවෙති. දැනුම බෙදාදීමෙන් විකල්ප අවස්ථා ඇති බව තේරුම්ගන්නා අතර එය විශාල ආර්ථික විප්ලවයකට මග පෙන්වයි. එවැනි දෙයක් සිදු නොවන අවස්ථාවේදී මහජනතාව ආණ්ඩුව විනා විකල්පයක් නැති බව සිතන්නට පටන් ගනී. රජයේ රැකියාව එකම අවස්ථාව වන අතර එය ලැබෙන්නේ රජයේ අනුගාමිකයන්ට බව පෙනෙන විට එයආර්ථිකයේ නැග්මට බාධාවකි. බුද්ධිමය ශ‍්‍රම සම්පත වටිනා ආර්ථීක සාධකයක් බව වර්තමානයේ ජාත්‍යන්තරව ඔප්පු වී තිබේ. දැනුමෙන් පොහොසත් සමාජයක් නිර්මාණය කිරීමට නම් පවතින අධ්‍යාපන ක‍්‍රමයේ වෙනසක් ඇති විය යුතුය. දැනට පවතින සම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් උපාධිධාරීන් බිහිවෙන නමුත් ඔවුන් සමාජයට එකතු වන්නේ රැකියා වියුකිත්කයන් හැටියටය.

ජාත්‍යන්තර සමාජය සමග පෙරට ගමන්කරන්නට නම් මේ යථාර්ත හදුනාගත යුතුය. ලෝකයේ රටවල් දියුණු වූයේ සමාජ එකගතාවය ඇති වූ මොහොතේ දීය. ආත්ම ශක්තිය එක මිටකට ගොනු කර දැඩි අධිෂ්ඨානයෙන් කි‍්‍රයා කරන්නට සමත් වූ ප දීය. හැම දෙනෙකුටම සමාන අවස්ථාවක් ඇති අතර එය වෙනත් බාහිර බලපෑමකින් ඔසවා තබන එකක් නොවන බව තහවුරු වන විටදීය. අවුරුදු තිහකට පසුව යුද්ධය අවසන් වූ මේ වකවානුව මෙකී කාරණා සමාජයට ඒත්තු ගන්වා සියලූ බෙද නොතකා සමාජය එකමුතු කරන්නට රටට ලැබුණ අසමසම හෝරාවකි.

තීරණ ගැනීමේ දී රජයේ ආකල්ප වෙනසක් ඇතිවිය යුතුය. මහජනතාව මෙම තීරණ ගැන වඩා පුලූල් ආකල්පයකින් සලකා බැලිය යුතුය. දේශපාලන බේධ භින්න ඇති කරන ගැටුම් හා පටු සාම්ප‍්‍රදායික ප‍්‍රතිපත්තිවලින් ඈත්වීම වැදගත් අවශ්‍යතාවයකි. අර්බුදය මතුව ඇති අවස්ථාවේ සියලූ දෙනා එකට එකතු වී එයට මුහුණ දෙන ආකාරය සැලසුම් කිරීම වැදගත්ය. එදිනෙදා ප‍්‍රශ්න වලදී වර්ජන ඇති කිරීම, පෙලපාලි හෝ උද්ඝෝෂණ මගින් සමාජ නොසන්සුන් බව ඇතිකරන්නට හැකිය. අස්ථාවරත්වය ඇති කර සමාජය අතෘප්තිමත් වෙයි. එනමුත් එයින් සැබෑ මහජන ප‍්‍රශ්න වලට විසදුමක් නොලැබේ. යථාර්ථය එයයි. අද අවශ්‍යව ඇත්තේ සමාජ නායකයින්, ආගමික නායකයින් පරිනත ඇසකින් පවතින ගැටලූ විශ්ලේෂණය කිරීමය. බුද්ධිමත් පණිවුඩයක් දී මහජනතාවට ඇත්ත අවබෝධ කරගන්නට අවස්ථාව ඇති කිරීමය. දේශීය හා ජාත්‍යන්තර සිදුවීම් රටට හා නායකයන්ට බොහෝ පාඩම් කියා දී තිබේ. තරුණ කැරළි හා ත‍්‍රස්තවාදය උගන්වා ඇති පාඩම කුමක්ද? ජාත්‍යන්තර ආර්ථිකයේ නැගීම් හා වැටීම් පෙන්වා දෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට අවශ්‍ය සංවාදශීලී වට පිටාව බිහි කර දේශීය ආර්ථික සමෘද්ධියෙන් යුතු මාවතට යොමු කිරීමේ බාරධූර වගකීම දැන් අභියෝගයක් සේ මතුවී තිබේ. සුප‍්‍රසිද්ධ ආර්ථික විශේෂඥ ජෝන් මේනර්ඩ් කේන්ස් වරක් කියා සිටියේ බරපතල ප‍්‍රශ්නය නම් අලූත් අදහස් මතු කිරීම නොව, පැරණි ආකල්ප වලින් ඈත් වීම බව සදහන් කළේය. මාගේ පුද්ගලික අදහස නම් පැරණි ආකල්ප යනු අභියෝගයක් නම් එයට සාර්ථකව මුහුණ දීම අප සියලූ දෙනා මුහුණ දිය යුතු නායකත්වය බවයි. මේ උදෙසා දුර දකින වැඩපිළිවෙලක් අවශ්‍යය. අද කැපවීමෙන් හෙට දින ජයගතහැකි බව රටට හා ජනතාවට පැහැදිලි කරන්නට අපට හැකිවිය යුතුය. මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.