» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/07/2012 - ඉරිදා ලංකාදීප
ජන දිවියට එල්ල විය හැකි සයිබර් අවකාශයේ තර්ජන - මිලින්ද මොරගොඩ

ලෝකය විවිධ කාල වකවානු වලදී එක් එක් යුග වලට ඇතුළු වෙයි. කෘෂිකර්මයට තැනක් තිබුණ වකාවානුව අවසානයේ දී කාර්මික යුගය බිහිවිය. ඉනික්බිතිව අවතීර්ණ වූයේ සේවා ආර්ථිකයක් සහිත යුගයකටය. අද අප ජීවත්වන සමාජය එහි තවත් දියුණු අවකාශයක් කරා යොමු වී තිබේ. එය තොරතුරු තාක්ෂණයයි. ලෝකය පුරා තිබුණ සම්මත බෙදීම් - වෙන්වීම් සියල්ල වෙනස් කරමින් ගෝලීයකරණයට ලක් වූ සමාජයක් නිර්මාණය වී තිබේ. එහි ඇති ප‍්‍රමුඛ අංගය තොරතුරු හුවමාරුවයි. ලෝකය පුරා සියලූ දෙනා ජාලගත වෙමින් තිබේ. ජාලගත සමාජ අනුව පොදු ජනතාව සිතුම් පැතුම් හා ආකල්ප අනුව එකට එකතු වෙමින් අලූත් තාක්ෂණික අභියෝග සහිත නවීන පරම්පරාවක් බිහිකරමින් සිටී. මෙම පරපුර මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන අභියෝග අධ්‍යයනය කිරීම වැදගත්ය.

මෑතක දී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා සයිබර් අවකාශයේ තර්ජන ගැන සදහන් කළේය. එය Wall Street Journal පුවත්පතේ http://online.wsj.com වෙබ් අඩවියෙන් කියැවිය හැකිය. එතුමා මෙම ප‍්‍රකාශය කරන්නට මත්තෙන් ඔහුගේ කැබිනට් නියෝජිතයන්, රාජ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ සමග අදහස් හුවමාරු කරගෙන තිබේ. තම රට නුදුරු අනාගතයේ දී සයිබර් අවකාශයෙන් එල්ල විය හැකි තර්ජන වලට ගොදුරුවිය හැකි අතර පරිගණක දත්ත විකෘති කරන්නන්, ආක‍්‍රමණිකයන් හා පරිගණක වයිරස පතුරවන්නන් ගෙන් සිදුවන්නට ඇති තර්ජනය කෙරෙහි විශේෂ අවධානයකින් කතාකර ඇත. තවමත් ස්වකීය පොදු පහසුකම් අඛණ්ඩව සැපයෙන ක‍්‍රියාවලියට පරිගණක පද්ධති ආක‍්‍රමණය මගින් තර්ජනයක් කරන්නට අසමත්ව ඇති නමුත් ටෙක්සාස් හි පානීය ජලය බෙදා හරින මධ්‍යස්ථානයක පාලන පද්ධතියේ ප‍්‍රශ්නයක් ඇතිවූ අතර එයට හේතු වූයේ වෙබ් ආක‍්‍රමණිකයෙකු එවන ලද ප‍්‍රහාරයක් හෙයින් බව එතුමා අනාවරණය කළේය. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි. පළමු වතාවට අන්තර් ජාතික තලයේ නායකයෙකු පරිගණක ආශ‍්‍රිතව සිදුවන ක‍්‍රියාකාරකම් හෙයින් ජන ජීවිතයට තර්ජන එල්ල විය හැකි බව ප‍්‍රකාශ කිරීම විශේෂ අවධානයකට ලක්විය යුතුය.

ජන ජීවිතයේ සෑම පැත්තක්ම පරිගණකයට බාර දෙමින් සිටින යුගයකි. මිනිස් ක‍්‍රියාකාරකම් මගින් පාලනය වූ නොයෙකුත් සේවා දැන් සම්පූර්ණයෙන් ම පරිගණක ජාල සහ විශේෂයෙන් නිර්මාණය කරන ලද පරිගණක මෙහෙයුම් පද්ධති වලට බාර දෙමින් තිබේ. එයට එක හේතුවක් වී ඇත්තේ නිවැරදිව නිසි ආකාරයට ක‍්‍රියාත්මක වීමයි. අනෙක් පැත්තෙන් එය වියදම් අඩු මගකි. බැංකු හා මූල්‍ය අංශය සම්පූර්නයෙන් ම පාහේ පරිගණක ගත වී තිබේ. මුදල් තැන්පත් කිරීම, ආපසු ගැනීම ගිණුම් යාවත්කාලීන කිරීම ආදි සියලූ කටයුතු ජ්‍යෙශ්ඨ නිලධාරීන්ගේ පරීක්ෂාව යටතේ පරිගණක පද්ධති මගින් සිදුවෙයි. දියුණු රටවල ජලය, විදුලිය සහ ගෑස් බෙදා හැරීම, ඉන්ධන ඇතුළු බලශක්ති මෙහෙයුම්, මගී ප‍්‍රවාහනයේ නොයෙක් පැති, රෝහල් වල සේවා කටයුතු යනාදී වශයෙන් බරපතල වගකීම් පරිගණකයට යොමු වෙමින් තිබේ. සාමාන්‍ය සේවාවක ප‍්‍රතිවිරෝධ නැගෙන ආකාරයට පරිගණක ක‍්‍රියාකාරීත්වය අඩාල කර එය අවුල් කිරීමට ද යම් යම් බලවේග මතු වෙමින් තිබේ. ඇතැම් බලවේග හුදු විනෝදයටය. තවත් අවස්ථාවක සතුරු පාර්ශවයන්ය. පරිගණක වැඩසටහන් පද්ධති වලට ඇතුළු වී ඒවා විකෘති කර අඩපණ කිරීම මෙම සයිබර් අවකාශයේ තර්ජන වල මුහුණුවරයි. සාමාන්‍ය ඊ මේල් ලිපිනයක රහස් අංකය සොයා ගෙන එහි ඇති ලිපිනයන්ට ව්‍යාජ අන්දමින් සකස් කරන ලද පණිවුඩ යැවීම අද සාමාන්‍ය එකකි. ඒ ආකාරයට ම අතිශය රහස්‍ය පද්ධති වලට ද පරිගණක වයිරස් ඇතුළු කරන්නට කූට උපායශීලීන් සමත්ව ඇත. එය පරිගණක ආක‍්‍රමණයකි. ආක‍්‍රමණයකට ලක්වන පරිගණක සුපුරුදු පරිදි ක‍්‍රියාත්මක නොවේ. එයින් විදුලිය බෙදා හැරීම අඩ පණ වීම සිදුවිය හැකිය. පානීය ජලය පිරිසිදු කිරීම හෝ එයට රසායනික දේ එකතුවන අනුපාත වෙනස් කළ හැකිය. එයින් සිදුවන්නේ බරපතල විපතකි. විදුලිය සංඥා පද්ධති අක‍්‍රීයවීමෙන් හෝ මගී ප‍්‍රවාහන සේවා කාලසටහන් විකෘති කිරීමකින් විශාල විනාශයක් කළ හැකිය. තාක්ෂණික යුගයේ මේවා පහසුවෙන් සිදුවිය හැකි දේ ලෙස සැලකෙයි.

එක පැත්තකින් අමෙරිකාව මෙවැනි පරිගණක ආක‍්‍රමණ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. ඇමරිකානුවන් ඉරානයට සයිබර් ආක‍්‍රමණයක් එල්ල කරන ලද බව සැක කරයි. එය සියයට සියයක් තහවුරු කළ නොහැකි චෝදනාවකි. ලිබියාවට සහ ඉරාකයට එරෙහිව යුද වදින විට ඇමරිකාව එම රටවල පරිගනක පද්ධති අවහිර කරමින් කටයුතු කරන ලද බව පැවසේ. එවැනි තහවුරු කළ නොහැකි සිද්ධි අතර ප‍්‍රසිද්ධ එකක් වන්නේ රුසියානුවන් ජෝර්ජියාව ආක‍්‍රමණය කරන විට එරට තොරතුරු හුවමාරුව වෙනත් සංඥා මගින් අවහිර කරන ලද බවයි. එය යුද ගැටුමක දී ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයේ පණිවුඩ හුවමාරු කර ගැනීම වලකන ප‍්‍රසිද්ධ සංග‍්‍රාමික උපක‍්‍රමයකි. අන්තර් ජාතිකව යුද තාක්ෂණය දියුණු වන විට ක‍්‍රමයෙන් අලූත් සොයා ගැනීම් පැතිරෙයි. දැනටමත් සෙබලූන් හා සමානව තාක්ෂණය ද යුද බිමෙහි ගැටේ. මිනිසුන් රහිත යානා අහසේ සැරි සරයි. ඔත්තු බැලීම, සතුරු ප‍්‍රදේශ වලට බෝම්බ හෙලීම යනාදියට නියමුවන් රහිත යානා ප‍්‍රයෝජනයට ගැනේ.

අනාගතයේ දී යුද්ධයක් සිදුවුවහොත් සෘජු මරා ගැනීම් සහ ලේ ගැලීම් අඩු වන අතර පාර්ශව අතර තාක්ෂණික ප‍්‍රහාර එල්ලවනු ඇතැයි සැලකේ. මුහුණට මුහුණ ලා කෙරෙන ගැටුමකට වඩා එය ජන ජීවිතය විපතට පත් කරන්නක් වනු ඇත. ජය පරාජය තීරණය වන්නේ තාක්ෂණික ප‍්‍රහාරයේ තරම අනුවය. යම් රටක මූල්‍ය පද්ධතියට හෝ ජලය, විදුලිය වැනි යටිතල පහසුකම් සැපයීම පාලනය කිරීම ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයකට නතු වුවහොත් එයින් ගැලවීමක් නැත. ප‍්‍රාණ ඇපයට පත්වීම හා සමානය. අද එය සිහිනයක් විය හැකි නමුත් අනාගතයේ දී පරිගණක වයිරස සකස් කරන්නන්ගෙන් සමන්විත යුද සේනාංක ඇතිවිය හැකිය. පරිගණක පද්ධති ආක‍්‍රමණය සහ සයිබර් අවකාශයේ තර්ජන න්‍යශ්ටික බෝම්බ ප‍්‍රහාරයකට වඩා දරුණු එකක් වන්නට ඉඩ තිබේ. මහජනතාවට තොරතුරු සපයන මාධ්‍ය අවහිර වී ඔවුන් මං මුලා කර රටක ජනජීවිතය අක‍්‍රමවත් කරන්නටත් හැකියාව තිබේ.

ශ‍්‍රී ලංකාවට මෙවැනි භයානක අවධියකට යොමු විය හැකි අවස්ථාවකට දැන්ම පත්වීම විරල නමුත් අප රට ද වේගයෙන් තොරතුරු තාක්ෂණයට නතු වෙමින් තිබේ. පරිගණකය සාමාන්‍ය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සැලකිය මැකිය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිතිපතා තොරතුරු හුවමාරු කර ගන්නට, අලූත් දේ දැන ගන්නට පරිගණකය හා අන්තර් ජාලය භාවිතා කරති. එයින් කාර්යය වේගවත් වෙයි. එහි ඇති වාසිය සේ ම අවාසිය ද හදුනාගෙන සිටිම යහපත්ය. අසභ්‍ය වෙබ් අඩවි පැතිරීම අපට දැන් ඇති බලවත් තර්ජනයකි. විකෘති මානසිකත්වයෙන් යුතු ඇතමුන් ලිංගික වෙබ් අඩවි ජාවාරම් කරන්නට සූදානම් වීම තවත් පැත්තකිි. මෑත කාලය තුළ සමාජය තුළ එය ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය. දරු දැරියන්, කාන්තාවන් ග‍්‍රහනය කර ගනිමින් ඉතාමත් කූට අන්දමින් පතුරවන තොරතුරු සමාජය මහත් සන්තාපයට පත් කළේය. නීති මගින් මෙවැනි වෙබ් අඩවි තහනම් කිරිමට හා ප‍්‍රවේශවීමට බාධා පමුණුවන ක‍්‍රියාමාර්ග වලට එලැඹින. නමුත් පරිගණක හැසිරවීමේ හා දත්ත සකස් කිරීමෙහි දක්ෂයන් උපක‍්‍රමශීලීව නීති මග හරිමින් සිටී. නීති සකස් කරන විට එයට එපිටින් යා හැකි වැඩසටහන් සම්පාදනය කරන අතර වෙබ් අඩවි ඔස්සේ එවැනි අවස්ථා සම්පාදනය තවත් ව්‍යාපාරයක් වී තිබේ. අසත්‍ය හා මඩ ප‍්‍රචාරක යාන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වීම ද පසුගිය දිනවල වාර්තාවිය. දේශපාලනඥයන්ගේ චරිත ඝාතනය කර ඔවුන් අපහසුතාවය පත්කරන වෙබ් අඩවි සකස් වූ බව නිරීක්ෂණය කළ හැකි විය. මෑත කාලය තුළ රජයට පක්ෂ කණ්ඩායම් සහ විපක්ෂය අතර පවා මෙම කරුණ සම්බන්ධව විශේෂ උනන්දුවක් තිබිණ. සූක්ෂම තත්ත්වය වන්නේ මෙම පරිගණක පද්ධති සකස්කරන්නන් ගේ උපාය සහමුලින් පරාජය කිරිමට හැකියාව අල්ප එකක් වීමයි. චීනය වැනි රටවල් තාක්ෂණය යොදමින් මිනිස් බලය මහා පරිමානයෙන් භාවිතා කරමින් පරිගණක හා අන්තර් ජාල අවභාවිතා වලකන්නට ප‍්‍රයත්න දරමින් සිටී. ඔවුහු එය වෙනුවෙන් වැය කරන ධනය විශාලය. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට එවැනි වියදමක් දැරීම පහසු නැත.

යුද්ධයක් සිදුවුවහොත් රණ බිම සැකසෙනු ඇත්තේ නොපෙනෙන අන්තර් ජාලයෙහිය. එහි ඇති ආක‍්‍රමණික බව සීමාවකින් තොරය. දියුණු රටවල් ආක‍්‍රමණ හමුවේ එයට මුහුණ දීමට ගෙන යන වැඩ පිළිවෙල සෙසු රටවල් අසරණ කරන තරමට ධනය වැය කරන එකකි. ඇමරිකානු නායකයා දක්වන පරිදි අනාගතයේ දි එරටට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සිදුවිය හැකි දේ බරපතල තත්ත්වයකි. මිනිසුන්ගේ සිතිවිලි පරිගණක නිර්මාණ කරන්නට කොතරම් දක්ෂ වනු ඇති ද ඒ තරමට ම එය අන්තර් ජාතික භීතියක් ඇති කරවන බවට සැකයක් නැත.අමෙරිකාවෙන් නැගෙන අදහස කුඩා එකක් සේ දැනෙන්නට ඉඩ තිබේ. එහෙත් එහි අභ්‍යන්තරය රටක පැවැත්ම සම්බන්ධයෙන් විකල්ප වැඩ පිලිවෙලක් සකස් කරගැනීමේ අවශ්‍යතාවය ඇති කරයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.