» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/08/2019 - දේශය
සාගරයේ සහ අහසේ ‌‌පෞද්ගලික සංචාර

පොදු ප‍්‍රවාහනය ගැන නොයෙක් පර්යේෂණ සිදුවෙමින් පවතී. වඩා කාර්යක්ෂම හා ඉක්මන් ගමන් බිමන් මගින් ඇති කරන පහසුව විශාල අවශ්‍යතාවයක් ව තිබේ. පොදු ප‍්‍රවාහනය ගැන පවතින අවධානය හා සමානව පුද්ගලිකව කරන වාහන භාවිතාව ගැන ද අලූත් අදහස් ක‍්‍රියාවට නැගෙමින් තිබෙන බව සඳහන් කළ යුතුය. සාගරයේ කරන සංචාර සහ අහසේ ගමන් බිමන් තමන්ටම කරගත හැකි යුගයක් බිහිවනු ඇත. එම යුගය දැනටමත් ආරම්භ වී තිබේ.

මහපොලව මත තනන ලද මහා මාර්ග වල තමන්ට කැමැති පරිදි කාර් එකකින් හෝ යතුරුපැදියකින් අවශ්‍යතා පරිදි ගමන් කිරීමට බාධාවක් නැත. සමහර විට ඉතා ධනවත් පුද්ගලයන්ට තමන්ගේම බෝට්ටු හෝ කුඩා ජෙට් යානා පුද්ගලික පරිහරණයට තබා ගත හැකිය. එවැනි යානා නඩත්තුව ඉතාල වියදම් සහගතය. සමහර රටවල් සිට ගුවන් සීමා සහ මුහුදු සීමා ආරක්ෂා කරන බැවින් ගොඩබිම දී මෙන් පහසුවෙන් ගමන් කිරීම පහසු නැත. විශේෂයෙන් තමන්ටම තමන්ගේ ගමන නිදහසේ කරගෙන යන්නට ඇති අවස්ථා විරලය.

අලූතින් වාර්තා වන තොරතුරු අනුව තමන්ගේ නිවසේ ගාල්කළ හැකි කුඩා විවෘත හෙලිකොප්ටරයකින් තමන්ටම මහපොලවට සමාන්තරව ගුවන්ගත විය හැකි යානා නිපදවමින් තිබේ. ඒවා දැන් භාවිතා වන ඩ්‍රෝන යානා වලට වඩා මදක් විශාලය. මුල් කාලයේ තැනුණ ගුවන් යානා සැකිල්ලක ආකාරයේ සැහැල්ලූ තහඩු වලින් නිපදවන හා සරල ආසනයක් සහිත මෙම යානා වලට ඉහළින් අවර පෙත්තක් තිබේ. එයට බලය සපයන මෝටරය ක‍්‍රියාත්මක කළ පසු ආසනයේ වාඩු වී සිටින තැනැත්තාට සිය දෑත් වලින් යානය මෙහෙයවිය හැකිය. ගුවනේ ඉතා ඉහළින් නොව සාමාන්‍ය උසකින් සාමාන්‍ය වේගයකින් ගමන් කළ හැකි වන බව මෙම යානා දියුණු කරන පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙයට ටඅමතරව කැලිෆෝනියාවේ ස්ථාපිත කරන ලද ජෙට්පැක් සමාගම ගුවනින් ගමන් කළ හැකි පුද්ගල මෝටර් යතුරුපැදියක් නිපදවා තිබේ. එය දැනට ද්‍රව ඉන්ධන වලින් ධාවනය වන අතර පසුව විදුලියට හරවන බව පර්යේෂකයෝ කියති. සුළු වාහන ප‍්‍රමාණයක් නිපදවා තිබේ. පැයට කිලෝ මීටර් 240 ක වේගයකින් විනාඩි 22 ක් ගමන් කිරීමට මෙම යතුරු පැදිය සමත් බව ප‍්‍රකාශ වෙයි. අඩඩි 15,000 ඉහළ ගුවනේ තනිව පැද යා හැකි මෙම මෝටර් යතුරු පැදිය ප‍්‍රවාහනයේ බලවත් පරිවර්තනයක් ඇති කරන බව නිසැකය.

අනෙක් අවස්ථාව තනි පුද්ගල මුහුදු යානයකි. ප‍්‍රංශයේ හා ස්විට්සරලන්තයේ පර්යේෂකයෝ දෙදෙනෙකු මෙය සාර්ථකව අත්හදා බලා ඇත. පැයට කිලෝ වොට් පහලොවකපමණ වේගයෙන් මුහුදේ හෝ ගංගාවල තමන්ට රිසි පරිදි ආරක්ෂිතව ගමන් කිරීමට මෙම යානා නිපදවා තිබේ. සම්පූර්ණයෙන්ම විදුලිය බලයෙන් ධාවනය කළ හැකි පරිදි යානා නිපදවා ඇත. එය මුහුද අපවිත‍්‍ර නොකරන පුද්ගල ප‍්‍රවාහනයක් බවට පත් වනු ඇතැයි විචාරකයෝ දක්වති.

ඇමරිකාවේ ප‍්‍රකට නවෝත්පාදකයෙකු හා ව්‍යවසායකයෙකු වූ ඊලොන් මස්ක් ගේ සංකල්පයක් වූ මහපොලව අභ්‍යන්තරයෙන් ගමන් කළ හැකි නලයක් නිර්මාණය ද මෙහිදී සාකච්ඡා කළ යුතුය. 2016 වසරේ දී පිහිටුවන ලද සමාගමක් මෙම විස්මිත නලය නිර්මාණය කරමින් සිටී. වසර 2021 වන විට එය ඇමරිකාවේ ලාස්වෙගාස් හි පොලව යට ක‍්‍රියාත්මක වන අතර පැයට සැතපුම් 150 ක පමණ අඛණ්ඩ වේගයකින් එය ගමන් කරන යානාවක් බවට පත් වනු ඇත. එහි වෙනස මුලින් සඳහන් කළ පුද්ගල ප‍්‍රවාහන ක‍්‍රම වලට වඩා වෙනස් පොදු ප‍්‍රවාහනයක් බවට පත් වීමයි. සම්පූර්ණ රික්තයක් වන මෙම නලය තුළ බාහිර ප‍්‍රතිරෝධය බිංදුවක් බවට පත් කිරීමෙන් පසු කිසිම බලශක්තියක් රහිතව පොලව යට තනන ලද නල මාර්ග ඔස්සේ වේගවත් ගමනාගමනයක් කළ හැකි වනු ඇතැයි සැලකේ.

පුද්ගලයන් වශයෙන් අහසට නැග යාත‍්‍රා කිරීම, අනෙක් අතට මහ මුහුදේ හෝ ගංගා වල තමන්ගේ කුඩා රථයකින් ගමන් කිරීම හෝ පොදු ප‍්‍රවාහනයක් වශයෙන් දියුණූ වී ඇති පොලව යට නල මාර්ගයක අධික වේගයකින් එහා මෙහා යාම තව දුරටත් සිහින නොවේ. අසිරිමත් අදහස් ඇති ධෛර්යයකින් යුත් නිර්මාපකයෝ මෙම වැඩිදියුණු කරන ලද ප‍්‍රවාහන ක‍්‍රම ලෝක වාසීන්ට දායාද කරමින් සිටිති. සමහර යෙදවුම් වල මිල සාමාන්‍ය ජනාවට දරා ගත නොහැකිය. ප‍්‍රායෝගික භාවිතයට නෛතික අවහිරතා තිබේ. නමුත් ඉතා ඉක්මනින් ලෝකය පුරා වෙනත් ව්‍යුහයක් හැදෙන්නට බැරි නැත. සිය ගමන් බලපත‍්‍රය පමණක් අතට ගෙන නිදහසේ වෙනත් රටකට පා වී යන අමුත්තෙකු අනාගතයේ දී දවසක අහසේ දැක ගත හැකි වනු නිසැකය. මේවායෙන් දැන් ඇති ප‍්‍රවාහන ගැටළු වලට පමණක් නොව පරිසර සාධක වලට ද විසදුම් සම්පාදනය කරනු ඇතැයි සැලකේ.

ලෝකයේ නොයෙක් රටවල කෙරෙන මෙම අත්හදා බැලීම් ශ‍්‍රී ලංකාව වැනි රටකට එන්නට ගතවන කාලය ලෝකයේ රටවල් අතර පරතරය මතු කරන අලූත් පැත්තක් විය හැකිය. විදුලිය බස්, විදුලිය දුම්රිය ගැන කතාකරන පසුබිමක ශ‍්‍රී ලංකාව තවමත් ගල් අඟුරු යුගයේය. අති සුඛෝපභෝගී වාහන වලට වඩා අලූත් පර්යේෂකයන් ගේ අවස්ථා වලට ඉඩ දෙන්නේ කෙසේ දැයි කල්පනා කරන්නට මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ යුහුසුළු විය යුතුය.