» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/05/2019 - දේශය
අනාගතයේ ඉදිවන පාවෙන නගර

පාවෙන හෝටල් ගැන ජනතාවට අත්දැකීමක් තිබුණි. පාවෙන බෝට්ටු වල සිට නිෂ්පාදන අලෙවි කරන සංචාරක උපක‍්‍රම භාවිතා විය. නමුත් පාවෙන නගර අලූත් අත්දැකීමකි. මහා සාගරයේ පාවෙන නගරයක් හදා එහි ජීවත්වීම නූතන ප‍්‍රජාව දකින සිහිනයකි. එය සැබෑ වන ලකුණු පහලව තිබේ. වසර 2020 වන විට ප‍්‍රංශයට නුදුරු දූපත් සියයකින් සැදුන ස්වභාවික මුහුදු ප‍්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන මෙම පාවෙන නගරය ඉදිකරන්නට සැලසුම් සකස් කර තිබේ. මෙම ප‍්‍රදේශය පැසිපික් සාරගයේ පිහිටි තයිටි දූපතට නුදුරින් විය හැකි බව වාර්තා වෙයි.

පාවෙන නගර ඉදිරිකීරීම ගැන ජගත් ප‍්‍රජාව නොයෙක් ආකාරයට සාකච්ඡා කරමින් සිටියේය. ලෝකයේ සිදුවෙමින් පවතින පාරිසරික වෙනස්කම් අනුව බරපතල අර්බුද වලට මුහුණ දීමට සිදුවෙයි. ගෝලීය උණුසුම ඉහළ නැග සාගරයේ ජල මට්ටම වැඩිවීම සෑහෙන ප‍්‍රශ්නයක් වනු ඇතැයි ගණන් බලා තිබුණි. ජලමට්ටම ඉහළ යන ගැටළුව හමුවේ ලෝකයේ සමහර රටවල් අහිමිවන අතර තවත් රටවලට හිමි ගොඩබිම සීමා වනු ඇතැයි සැලකේ. වැඩිවන ජනගහනය ගැන අනාවැකි ප‍්‍රකාශ වන පසුබිමක සීමිත ඉඩම් ප‍්‍රමාණයක අධික ජනගහනයක් නඩත්තු කිරීම ප‍්‍රශ්නයකි. එක පැත්තකින් තව දුරටත් පරිසරය විනාශ නොකළ යුතු අතර අනෙක් පැත්තෙන් ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වෙනුවෙන් සෑහෙන ඉඩම් ප‍්‍රමාණයක් අවශ්‍යවෙයි. සීමිත භූමියක පස් රහිතව වගා කරන තාක්ෂණය ගැන පර්යේෂණ පවත්වන පර්යේෂකයෝ හා සමානව භූමියක් රහිතව වාසස්ථාන තැනීම ගැන ද තවත් පිරිසක් පර්යේෂණ කරමින් සිටිති. මහ මුහුදේ පාවෙන නගර ඉදි කිරීම එම වෑයමේ ප‍්‍රතිඵලයකි.

නොයෙක් රටවල් තමන්ට අයත් මුහුදු වෙරළ ගොඩකර අලූත් ඉඩම් නිර්මාණය කරගනිමින් සිටිති. චීනයේ වේගයෙන් සිදුවෙයි. ඩුබායි නගරයේ ඉදි වූ ෆාම් දූපත එයින් ප‍්‍රකට තැනකි. ශ‍්‍රී ලංකාවේ ද මහ මුහුද ගොඩකර නගරයක් තැනෙයි. කලින් කොළඹ වරාය නගරය සේ නම් කළ මෙම භූමි භාගය මූල්‍ය නගරය යනුවෙන් අලූතින් නම් කර තිබේ. ගොඩකර නගර තැනීම යල් පැන ගිය අදහසක් වන අතර මහ මුහුදේ පාවෙන නගර එයට එකතු වූ අලූත් සංකල්පයකි.

පේ පැල් නමැති දැවැන්ත ව්‍යාපාරය නිර්මාතෘ සහ බහු ජාතික සමාගම් ගණනාවක් නිර්මාණය කළ ප‍්‍රකට ධනවතෙකු වන පීටර් තීල් මෙම පාවෙන නගර හදන සැලසුමට එකතු වී සිටී. ඔහුගේ අභිලාශය සාක්ෂාත් කරනු සඳහා අලූත් සමාගමක් බිහි වී ඇත. ආණ්ඩු පාලනයෙන් නිදහස් ස්වාධීන චින්තකයන්ගේ සමාජයක් වශයෙන් එය ගොඩනැගීම අරමුණ වී තිබේ. වසර 2050 වන විට පාවෙන නගර දහස් ගණනින් හදන අදහසක් ඇත. පළමුවැනි පාවෙන නගරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 60 ක අරමුදලක් හදා ඇත. මෙහි ඉදිකිරීම් සැලැස්ම ද සාකච්ඡා කර හමාරය. සම්පූර්ණ හරිත නගරයක් වනු ඇත. ප‍්‍රතිචක‍්‍රීය කරන ලද යකඩ හා ප්ලාස්ටික් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කෙරේ. වහල උණ ගස් වලින් තනන අතර ආහාරයට ගත හැකි දේ වලින් සමන්විත බව ප‍්‍රකාශ වෙයි.

පාවෙන නගර සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට ද ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර නගර සංවර්ධන සැලැස්ම අනුව වෙනම ඒකකයක් පුද්ගලික ආයතන සමග එකතු වී පාවෙන නගර ප‍්‍රායෝගික කරන්නට සූදානම්ය.

එක්සත් ජාතීන් ගේ ගණන් ගැනීම අනුව ඉතා ඉක්මනින් ලෝකය පුරා මෙම සංකල්පය විහිදෙනු ඇත. 1995 දී පමණ එක්සත් ජාතීන් මෙකී පාවෙන නගර ඉදිකිරීම ගැන ප‍්‍රතිපත්ති තීරණ ගැනීම සදහා රැස් වී තිබේ. සිංගප්පූරුව නිදහස ලබන විට එනම් 1965 දී පැවැති භූමි ප‍්‍රමාණය ඉක්මවා සියයට විසි පහකින් මුහුද ගොඩකර අලූත් ස්ථරයක් තනාගෙන ඇති අතර ලෝකයේ එවැනි ඉදිකිරීම් සිදුවන වේගය සලකන විට ඇති විය හැකි පාරිසරික වෙනස්කම් ගැන ද අවධානය යොමු කර තිබේ. ආකෘතිය පරිසර හිතකර බව හා ජනාවාස මගින් ඇති කළ හැකි ආර්ථික දියුණුව සලකන විට පාවෙන නගර ඉතා සුදුසු බව ඒත්තු ගැන්වී ඇත. නගරයක තුන් සියයක් පමණ නිවාස ඉදි කළ හැකි අතර දස දහසක පමණ පිරිසක් වාසය කළ හැකි වනු ඇත. එම පිරිසට අවශ්‍ය ආහාර හා මුහුදු මත්ස්‍ය නිෂ්පාදන අවටින්ම ලබා ගැනීමට හැකි පරිදි නිර්මාණය කිරීම අදහස වී තිබේ.

එක්සත් ජාතීන් ගේ සංවිධානය සැලසුම් කරන ආකාරයට මෙම පාවෙන නගර ඇත්තටම ලෝකයේ තැනින් තැන පාවෙන ඒවා දැයි ඇතැම් අය ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. නෙදර්ලන්තයේ මේ හා සමාන නිවාස ජලාශ වල ඉදිවන ක‍්‍රම තිබේ. ඒවා මහා පරිමානයෙන් නොවේ. ප‍්‍රධාන නගර තුළ පවතින සංස්කෘතියෙන් බැහැර නැත. නමුත් පාවෙන නගර වල සැලසුම් එයට වෙනස් බව හිතන්නට අලූත් සැලසුම් ශිල්පියෝ සූදානම්ය. එම නගර ස්වයං පාලනය පමණක් නොව අවශ්‍යතා නගරය තුළින්ම සපුරා ගන්නා ආකාරයට සකස් වනු ඇතැයි සැලකේ.

පාවෙන නගර පමණක් නොව පාවෙන රෝහල් සංකීර්ණ ගැන ද අවධානය යොමු කර ඇත. කිසියම් හදිසි විපතක් සිදුවූ අවස්ථාවක මෙම පාවෙන රෝහල් සංකීර්ණයවිපතට පත් තැනට යොමු කර යම් සහන සපසන්නට හැකිවන සේ නිර්මාණය කෙරේ. මහා නගරයක් පා කර ස්වභාවික විපතකින් සිදුවන පීඩාවකට ප‍්‍රතිකර්මයක් වන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරන කණ්ඩායම් සිටී. නමුත් මෙම සංකල්පය වඩා දියුණු කරන මැසසුචෙස්ට් තාක්ෂණික ආයතනය දක්වන පරිදි ඇපලෝ 11 කක්ෂගත වන විට එයින් පසු සිදුවිය හැකි පරිවර්තනය ගැන විශාල විවාද තිබුණ බව ද සිහිපත් කරයි.