» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/04/2019 - දේශය
ගොවියන් නැති ගොවි බිමක් තැනෙන දවස

අනාගතයේ දී ගොවියෝ නැති ගොවිපොළ වලින් එලවලූ, පලතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එය සිහිනයක් නොවේ. චීනය අලූතින් ගොවියෝ රහිත සම්පූර්ණ කෘතීම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් කි‍්‍රයාවට නගා ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර ගොවිතැන් කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි.

සම්පූර්ණයෙන්ම යන්ත‍්‍ර භාවිතා කරන ගොවිතැන නුහුරුය. ‘‘වගා කරන විට අත් ගුණේ නැත්නම් ගහක් කොළක් හැදෙන්නේ නැහැ’’ යනුවෙන් අපේ පැරණි ගොවියෝ කියා සිටියේ ආඩම්බරයෙන්ය. නිතර වගා බිමේ එහා මෙහා ඇවිද්දේය. තණකොළ ගලවන අතර සෝදා යමින් තිබුණ පස්වැටි ලං කර ගස් ආරක්ෂා කළේය. කෘමි හානි ගැන අවධානයෙන් සිටියේය. ඒවාට වැළඳෙන නොයෙක් රෝග පාලනය කරනු සඳහා ගත හැකි පියවර ගැන සෙවිල්ලෙන් කාලය ගත කළේය. සාත්තුව ඉතා වැදගත් බව තේරුම් ගෙන සිටියේය. සරු පලදාව ගැන සතුටක් තිබුණ අතර එය ඵලදායී නිෂ්පාදනයක් දැයි ගණන් බැලූවේ නැත. ගොවිතැන උරුම දෙයක් විනා එය කාර්යක්ෂමව කළ යුතු ව්‍යාපාරයක් යැයි කල්පනා නොකළේය. ලාබ පාඩු තමන්ටය. නිවසේ අටු කොටු පුරවා අතිරේකව යමක් තිබුණොත් විකුණා කරවල හෝ තුන පහ මිල දී ගන්නට වැය කළේය. එය සතුටුදායක ගොවිතැනකි. සමෘද්ධිය එතැන විය.

එවැනි ගොවිතැන් කිරීමේ ස්වභාවය වෙනස් වී තිබේ. තමන්ට පමණක් යැපෙන ගොවිතැන අකාර්යක්ෂමය. වෙළඳ පොල වෙනුවෙන් නිපදවන්නට පටන්ගෙන තිබේ. යෙදවුම් ඇත. ගුණාත්මක බීජ ප‍්‍රබේධ ඇත. ගොවිපොළ කළමණාකරනය කළ යුතු අතර මහා පරිමානයෙන් නිපදවන්නට සිදුවේ. පසු අස්වනු තාක්ෂණය ගැන හා වෙළඳ පොල තත්ත්ව ගැන අවධානයක් යොමු කළ යුතුව ඇත. මහා පරිමානයෙන් නිපදවන විට ආරක්ෂිත ගෘහ, ජල කළමණාකරනය හෝ යොදන පොහොර ප‍්‍රමාණය අවශ්‍යතාවය අනුව යොදවන තැනට පත්ව ඇත. ගොවිතැන ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යන හා එහි ගොවිතැනට අවශ්‍ය ශ‍්‍රම බලකාය සීමිත වන පසුබිම තුළ කෘෂිකර්මයෙහි අර්බුදයක් හටගෙන තිබේ. ලෝකයේ ජනගහන වර්ධනය සමග ආහාර අවශ්‍යතාව වැඩි වී ඇති නමුත් වගාවෙහි නිරත වන්නට කැමැති ශ‍්‍රම බලකාය සීමිතය. විශේෂයෙන් මහා පරිමානයෙන් වගා කරන අවස්ථාවේ දී ශ‍්‍රමය බරපතල ගැටළුවක් වී තිබේ.

ශ‍්‍රම හිඟයට චීනය ඉදිරිපත් කරන විසදුම සම්පූර්ණයෙන්ම යාන්ත‍්‍රික ගොවිපොළ ක‍්‍රමයකි. ක්ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ පරිදි චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් ගොවිපොල සී සෑම කරගෙන යයි. රියැදුරා පැත්තකට වී සැහැල්ලූවෙන් සිටින අතරවාරයේ ඔහුගේ කලින් සපයන ලද විධාන අනුව පරිගණකයේ දත්ත කියැවිය හැකි ස්වයං ක‍්‍රියාකාරී ට‍්‍රැක්ටරය නියමිත තීරුවේ ධාවනය කරමින් පොලව පෙරලන අතර එයින් පසු ධාන්‍ය වැපිරීම ද සිදුකරයි. සාමාන්‍යයෙන් රියැදුරෙකු සහිතව කරන කාර්යයට වඩා මෙය අඩු කාලයකින් නොනවත්වා කරගෙන යන හැකියාව ලැබී තිබේ.

චීනයේ දුර බැහැර ප‍්‍රදේශ වල තරුණයෝ අලූත් රැකියා සොයමින් නගර කරා සංක‍්‍රමණය වී තිබේ. එය සංවර්ධනයේ ප‍්‍රතිඵලයකි. කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය පමණට පිරිස් බලය නැත. ඇමරිකාවේ පිහිටි ජාත්‍යන්තර අස්වනු ආයතනය සඳහන් කරන අන්දමට 2005-2019 කාලය තුළ ලෝකයේ කෘෂිකාර්මික අංශයේ නිරතවිය යුතු ශ‍්‍රමිකයන් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මිලියන 58 කින් අඩුය. එය සියයට එකොලහක ප‍්‍රතිශතයක හිඟයක් බව දැක්වෙයි. ලෝකයේ සෑම රටක් ම පාහේ කර්මාන්ත හා කෘෂි කර්මාන්ත අංශයේ අඩු ශ‍්‍රමයක් යෙදවෙන ක‍්‍රම ගැන අත්හදා බලති. රියැදුරු රහිත ට‍්‍රැක්ටර් එහි එක පියවරක් පමණකි.

මෙයට අමතරව මහ පොලවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘතීම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය මාසයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමු කර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගාවේ ක‍්‍රමවේදය වෙනස් කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙලීම එවා ගබඩා කරා යොමු කිරීම ද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත. චීනයේ ක්ෂින්හුවා ප‍්‍රදේශයේ ගොවිපොළක වී අස්වැන්න නෙලන්නට ස්වයංක‍්‍රීයව මෙහෙයැවෙන යන්ත‍්‍ර භාවිතා කරන ලද අතර එය සාර්ථක වී තිබේ. චන්ද්‍රිකා මගින් සපයන දත්ත විශ්ලේෂණය කරන කෘතීම බුද්ධිය සහිත රොබෝවරු, පැය විසි හතරම ක‍්‍රියාත්මක වෙමින් වගාව කරගෙන යාමට හැකි කාක්ෂණික පෙරැළියක් චීනය තුළ සිදු කර ඇත. පස පරීක්ෂා කර බලා එයට ගැලපෙන වගාව නිර්දේශ කිරීම හා පොලව සකස්කර වගා කිරීම පමණක් නොව නිසි වේලාවට, ස්වයංකී‍්‍රයව ක‍්‍රියාත්මක වී අවශ්‍ය පමණට වතුර හා පොහොර යොදන මෙවලම් දැන් භාවිතාවට පැමිණ ඇති බව වාර්තා දක්වයි. එළිමහනේ යෙදවෙන ට‍්‍රැක්ටර් හදිසි කාලගුණ වෙනස්කම් යටතේ ඇතිවන වැසි සහිත තත්ත්ව වල දී වැඩ කරන ආකාරය පමණක් දැනට ප‍්‍රශ්නයක් වී ඇත. තද වැසි සහිත අවස්ථා වල පොලොවේ ස්වභාවය වෙනස්වීම යන්ත‍්‍ර වල හැසිරීමට බාධාවක් බව රියැදුරන් රහිත ට‍්‍රැක්ටර් අත්හදා බලන ලද පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.

මධ්‍යම රජයට වඩා පලාත් මටට්මින් ස්වයංක‍්‍රීය ගොවිතැන ගැන අධ්‍යයනය කරන බව චීනය වාර්තා කරන වැදගත් කරුණකි. වසර 2025 වන විට සම්පූර්ණයෙන්ම ගොවියෝ නැති ගොවිපොළකට අවශ්‍ය සියළු මෙවලම් භාවිතාවට ගත හැකි බව විශ්වාස කෙරේ. එය සාර්තක වුවහොත් ගොවිපොළ හිමිකරු නිවසේ සිටින අතර වගාකළ අස්වැන්න වෙළඳ පොළට යැවීමෙන් පසු මුදල් ගිණුමට බැර කෙරෙනු ඇත. අධීක්ෂණයට පමණක් දෙතුන් දෙනෙකු ප‍්‍රමාණවත්ය. මහන්සියෙන් වැඩ කළ ශ‍්‍රමය වෙනුවට ඩ්‍රෝනා හෝ රියැදුරන් රහිත ට‍්‍රැක්ටර් කලමණාකරනය තරුණ පෙලකට අනාගතයේ වෘත්තීය අවස්ථා ලැබෙනු ඇත.