» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/11/2020 - දේශය
ජීවත්වන නගරය හරිත කලාපයක් බවට හැරවීම

ලෝකය පුරා එකිනෙකට වෙනස් කැළඹිලි තිබේ. දේශපාලන, සමාජ හා සෞඛ්‍ය අර්බුද එමටය. යහපත් අනාගතයක් නිර්මාණය කරන්නට වෙහෙසෙන කැපවීමක් සහිත පුද්ගලයෝ මෙම පීඩනය හමුවේ පවා පරිසරය ගැන අවධානය යොමු කරති. කොන්ක‍්‍රීට් වලින් ඉදිවන මහා නගර තුළ ජෛව විවිධත්වය ඇති කර මානසික පීඩනය අවම කරන පියවර වෙනුවෙන් තීරණ ගනිමින් සිටිති.

තුරුලතා වලින් සමන්විත නගර නිර්මාණය අද ප‍්‍රමුඛ අවධානය යොමු වී ඇති කාරණයකි. දැනට පවතින ජනාකීර්ණ භාවය හා වාහන තදබදය අප‍්‍රමාණ ගැටලු ඇතිකර තිබේ. කුඩා දුරක් සඳහා සෑහෙන කාලයක් වැයකරන අතර පුලුස්සන ඉන්ධන ප‍්‍රමාණය පරිසරයට මහත් විනාශයකි. වාහනවලින් නිකුත් වන දුම නගරවල ජීවත්වන ජනී ජනයාට ශ්වසන ආබාධ ඇතිකරයි. ගෝලීය උණුසුම වර්ධනයට එක හේතුවක් සේ සැලකේ. එය මහත් විපතකට හේතුවකි. උණුසුම හේතුවෙන් අයිස් කඳු දියවෙන අතර මුහුදු මටට්ම ඉහළ නැග ගොඩබිම යටකරනු ඇතැයි ගණන් බලා ඇත. ගෝලීය උණුසුම පාලනය කරන පියවර උදෙසා විවිධ සම්මුති අත්සන් කර තිබේ. ලෝකයේ සියලුම රටවල් පාහේ අත්සන් කළ පැරිස් සම්මුතිය එයින් එකකි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නොබෝදා අනාවරණය කරන ලද වාර්තාවක් අනුව නාගරික ප‍්‍රදේශ හරිත කලාප බවට පත් කිරීම කෙරෙහි ප‍්‍රමුඛ අවධානය යොමු කළ යුතුය. දැනට නාගරික ප‍්‍රදේශවල ජීවත් වන පිරිස සුළු පටු නොවේ. සමස්ත ලෝක ජනගහනයෙන් හරි අඩක් නාගරික ප‍්‍රදේශ වල වෙසෙති. වසර 2050 වනවිට එනම් අපගේ දරුවෝ අනාගතයේදී නගර වාසස්ථාන කරගනු ඇත. නොඑසේනම් දැනට අර්ධ නාගරික ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම නාගරීකරණයට පත්වනු ඇත. එම කාල වකවානු වනවිට සමස්ත ජනගහණයෙන් සියයට හැත්තෑ පහක් නගර ආශ‍්‍රිතව වෙසෙන්නන් බවට පත්වනු ඇතැයි සැලකේ. නාගරීකරණයේදී විදි හා මහල් නිවාස පොදු දර්ශනයකි. විවිධ කර්මාන්ත හා අලෙවි අංශ බහුල වෙයි. මෙම සියලු පැතිවලට අමතරව තුරුලතා සහිත කලාප වෙන්කර පරිසරය ආරක්ෂා කර ගැනීමෙන් ශාරීරික හා මානසික දියුණුවක් ලැබෙනු ඇති බව දැක්වෙයි.

වාර්තාව අනුව නිසි පරිසර පද්ධතියක් නගර තුළ නිර්මාණය කළහොත් අධික හිරුඑළිය පාලනය වන අතර දිවා කාලයේ උණුසුම අංශක 2-8 අතර ගණනකින් අඩු කළ හැකිය. එය වාසු සමීකරණවලින් ලැබෙන පිටිහවල හා සමාන කරන්නට බැරිකමක් නැත. ගස්වැල් විශිෂ්ට වායු පෙරහන් සේ සලකයි. නාගරික වාතය දූෂිතය. කාබන්ඩයොක්සයිඩ් හා අහිතකර වෙනත් වායු ශ්වසන ආබාධවලට හේතුවකි. මනාව වැඩුණ එක ශාඛයක් වසරකට කාබන්ඩයොක්සයිඩ් කිලෝ 150 ක් අවශෝෂණය කරගන්නා බව ගණන් බලා ඇත. එය විශාල වාසියක් පමණක් නොව ප‍්‍රභාසංස්ලේෂණයේදී නිකුත් කරන ඔක්සිජන් වායුගෝලය නැවත යහපත් බවට හරවයි.

නාගරික ශාඛ පරිසරය නැවත පක්ෂී හා සත්ව විශේෂ කැඳවන අතර එය ජෛව විවිධත්වය ඇති කරන හේතුවකි. එමගින් මිනිසා බැහැර කරන සෑහෙන කසල ප‍්‍රමාණයක් නැවත විවිධ පැතිවලින් ප‍්‍රයෝජනයට ගැනෙන අවස්ථා ඇති කරයි. නිසි පරිදි කළමනාකරණය කරන ලද නාගරික ප‍්‍රදේශවල වෙසෙන ජනී ජනයාගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය ඉහළය. පීඩනය අඩුය. ආතතිය අවම කරන අතර එය අධි රුධිර පීඩනය වැනි තත්ත්ව ඇති නොකරන්නට හේතුවකි. නිසි පරිදි නඩත්තු කරන ලද පරිසරයක් සහිත නාගරික ප‍්‍රදේශවල ඉඩම්වල වටිනාකම පවා සියයට විස්සකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

හරිත ගොඩනැගිලි සංකල්පය ජාත්‍යන්තරයේ ප‍්‍රකට අදහසකි. දියුණු රටවල මැනැවින් ක‍්‍රියාත්මකය. එහිදී ඉදිකිරීම්වලදී මූලික වශයෙන් පරිසර සාධක සලකා බලයි. ගහකොළ පවතින වටපිටාවක ඉදිකෙරේ. ගොඩනැගිලි ඉතා විශාල ඒවා සේ ඉදිකරන නමුත් එහි ජීවත්වන පිරිසට ඉතා පහසුවක් දැනෙන ආකාරයට නිර්මාණය කරන්නට ප‍්‍රයත්න දැරේ. ඒවායේ වාසස්ථානය හිතට අස්වැසිල්ලක් වන බව සැලකේ. මාර්ග තැනීමේදී ජනයාට පහසුවෙන් ගමනාගමනයට ඉඩ ලැබෙන අතර පාපැදි හා පා ගමනින් ඇවිදින පිරිස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

සංවර්ධනයේදී පරිසරය නොතකා ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් සෑහෙන විවේචන තිබේ. ඉංජිනේරුවන් හා සැලසුම් ශිල්පීන්ගේ අරමුණ වියදම පාලනය කරන අවම ඉඩම් ප‍්‍රමාණයක් පවරා ගන්නට සිදුවන සේ ව්‍යාපෘති සැලසුම් කිරීමය. ශ‍්‍රී ලංකාවේ පවා අධිවේගී මාර්ග, ජලාශ හා නිවාස සංකීර්ණ ඉදිකිරීමේදී එවැනි පියවර අනුගමනය කර තිබේ. විශේෂයෙන් අධිවේගී මාර්ග හා වාරි ජලාශ සකස් කරන විට වන සතුන් ජීවත්වන කලාප ගැන නොසලකන බවට විවේචන ඇත. ජෛවයේ පැවැත්ම පමණක් නොව ජනී ජනයා ජීවත්වන ගම්බිම් පවා වෙන්කරන පරිදි සැලසුම් සකස් කරන බව පෙනේ. නගර තැනෙන විට ඒවායේ ඇති ගහකොළ ඉවත්කර අලුතින්ම සකස් කරන අවස්ථාවේ දී සිදුවන හානි ගැන තැකීම අඩු බව පෙනේ. ඇතැම් ව්‍යාපෘති වලට අලුතින් පැළ සිටුවා අලංකරණ යෝජනා ඇතුළත් නමුත් සිටුවන ශාඛ පද්ධති නඩත්තුව ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැත.

මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට ගමන් කරනන ශ‍්‍රී ලංකාව අනාගතය වෙත අවධානය යොමු කිරීම අවශ්‍යය. සංවර්ධනය හා සමාන්තරව මතු පරපුර ජීවත්වන තැන ගැන කල්පනා කිරීම සුදුසුය. නගර සැලසුම් කිරීමේ දී හැකිතරම් ශාඛ පද්ධති සහිත සහ වෙනත් ජීවීන්ට සැරිසරන්නට පහසුව ඇති කලාප වෙන් කරන්නට අවශ්‍යය. කොළඹ හා තදාසන්න සියලු නගරවල රජයට අයත් විශාල ඉඩම් තිබේ. මේවා නිසි පරිදි සැලසුම් කළ හැකිය. රජය පමණක් නොව පුද්ගලික අංශයද දායක කරගත හැකිය. විශ්වවිද්‍යලවල පරිසර නිර්මාණය ගැන අධ්‍යාපන පාඨමාලා පවත්වයි. කලාප වෙන්කර ඒවා පෞද්ගලික භූමි අලංකරණ ආයතන හෝ විශ්වවිද්‍යාල වැනි ආයතනවලට පැවැරීමෙන් ලබාගත හැකි අවස්ථා ගැනද අවධානය යොමු කළ යුතුය.