» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/05/2019 - දේශය
විසි එක් වැනි සියවසේ බලවත්ම ගැටළුව වයස්ගත ජනගහනය

ලෝකයේ වැඩි වයස් සහගත ජන කොටස ඉහළ ප‍්‍රතිශතයකට පත්වීම විසි එක්වැනි සියවසේ බරපතල ගැටළුවක් වනු ඇතැයි අන්තර් ජාතික ප‍්‍රජාව විශ්වාස කරයි. ගණන් බලා ඇති අන්දමට අවුරුදු පහට අඩු දරුවන්ට වඩා අවුරුදු හැට පහට වැඩි වයස්ගත පිරිසක් අද වන විට ලෝකය පුරා ජීවත් වෙති. වැඩි වයස් ජනගහනයේ ප‍්‍රතිශත වර්ධනය එතැනින් නතර නොවේ. සෞඛ්‍ය දියුණුව නිවැරදි ආහාර පිලිවෙත් හා ව්‍යායාම එයට උදවු කෙරේ. වෛද්‍ය විද්‍යාත්මකව අනාවරණය කරගන්නා ප‍්‍රතිකාර ක‍්‍රම තවදුරටත් අත්වැලක් සපයා තිබේ.

කෙසේ නමුත් වියපත් පිරිස වෙනුවෙන් අනුවර්තනය වීම සෑම රටකටම ප‍්‍රශ්න ඇති කරනු ඇතැයි සැලකේ. එක පැත්තකින් වයස් ගත අයගේ ලෙඩ රෝග ගැන හිතන්නට සිදුවෙයි. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය වැඩි වෙයි. වැඩ නොකර විශ‍්‍රාම ජීවිතයක් ගත කරන නිසා එම පිරිස නඩත්තු කිරීමට ආර්ථික පිරිවැයක් ඇත. වයස්ගත අය මොනවා හෝ වෘත්තියකට බඳවා ගතයුතුය. නොඑසේනම් රැකීරක්ෂා වල නිරත ජන කොටස වැඩි කාර්යක්ෂමතාවයකින් හා ඉහළ ඵලදායීතාවයකින් වැඩ කරන්නට සිදුවෙයි. ගමනාගමනය, ආහාර නිෂ්පාදනය පමණක් නොව මාධ්‍ය වැඩ සටහන් පවා වැඩිහිටියන් ඉලක්ක කරගෙන සැලසුම් කරන්නට අනාගතයේ දී සිදුවිය හැකිය. එය වර්තමාන තාක්ෂණික යුගය මුහුණ දී ඇති අභියෝගයකි. අලූතින් අවධානයට ගත යුතු පැත්තකි.

පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන අන්දමට වසර 2050 වන විට ලෝක ජනගහනයේ සියයට 22 ක් එනම් හැම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට වඩා වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති. අවුරුදු විස්සක් තිස්සේ අවුරුදු පහට අඩු ළමා ජනගහනය සියයට පහකට අඩු ප‍්‍රතිශතයක තිබිය දී වැඩි වයස් ගත පිරිස ඉහළ යමින් පවතින බව ද පෙන්වා දී තිබේ. වැඩ කරන ශ‍්‍රම බලකාය ගැන අනාගතයේ දී ගැටළු ඇති විය හැකිය.

වියපත් පිරිස ජීවිතයේ සැදෑ සමය ගෙවන කණ්ඩායමකි. මෙම වැඩි වයස්ගත පිරිස වෙනුවෙන් රට රටවල වියදම් ඉහළ යන ස්වභාවය අනුව ලෝක ආර්ථිකයේ වර්ධන වේගය අඩාල විය හැකි අතර එයට සූදානම් වන සේ මෙම පර්යේෂකයෝ අනතුරු අඟවා තිබේ. එය වලක්වන්නට නම් මෙම කණ්ඩායමට කරන්නට පුලූවන්කමක් ඇති රුකී රක්ෂා බහුල ව්‍යුහයක් බිහි කළ යුතුුය.

ජපානය, ස්විට්සරලන්තය හා සිංගප්පූරුව ඉහළ ජීවිතාපේක්ෂාවක් ඇති රටවල් වශයෙන් ඉහළ උද්දාමයෙකින් සිටිති. ජපානයේ වැසියන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු අවුරුදු 83.7 කි. සිංගප්පූරුවේ එයට තරමක් අඩුය. නමුත් 1990 දී වයස අවුරුදු සියය ඉක්මවූ 50 දෙනෙකු වාර්තා වී ඇති අතර 2018 දී එම පිරිස 1,200 කි. සිංගප්පූරුවේ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති අනුව අවුරුදු සියය ඉක්මවන ජන කොටසක් ඇති රටක් බවට පත් කිරීම අපේක්ෂාව වී තිබේ. එය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර ඇත. නිරෝගී බව වෙනුවෙන් ආයෝජනය කර ඇති ධනය විශාලය. තාක්ෂණය බහුලව භාවිතා කර තිබේ. තමන්ගේ රුධිර පීඩනය, සීනි ප‍්‍රතිශතය මැන ගත හැකි සේවා කවුන්ටර පිහිටුවා ඇති අතර ඒවා ඉක්මනින් වෛද්‍යවරු වෙත යොමු කර අවශ්‍යනම් දුරස්ථ ප‍්‍රතිකාර කරන ක‍්‍රම පවා හදුන්වා දී ඇත.

වයස් ගතවන විට මහන්සි වී වැඩ කරන හැකියාව අඩු වෙයි. අලස, අකර්මන්‍ය ජීවිත වලට නැඹුරු වෙන්නට ඉඩ තිබේ. එය නුදුසුදුය. ඉගෙනගන්නා අතර අලූත් වෘත්තීය අවස්ථා බිහි කිරීමට ලෝකයේ නොයෙක් රටවල් නැඹුරු වී සිටී. වැඩිහිටියන්ට වෙනම අධ්‍යාපනය, ප‍්‍රංශයෙන් ආරම්භ විය. පසුව යුරෝපයේ නොයෙක් රටවල් ප‍්‍රයෝජනයට ගත්තේය. බි‍්‍රතාන්‍යයේ අතිශය ජනප‍්‍රිය වී තිබේ. නොබෝදා චීනයෙන් අනාවරණය වූ තොරතුරු අනුව එරට ජනගහනයෙන් මිලියන අටක වැඩිහිටි ජනහගහනයක් විශ්ව විද්‍යාල වල ඉගෙනගනිමින් සිටිති. අවුරුදු හැට ඉක්ම වූ සමස්ථ ජනගහනයෙන් සියයට තුනක පමණ පිරිසක් බව අනාවරණය වෙයි. වැඩිහිටියන්ට චීනයේ ෂැංහයි විශ්ව විද්‍යාලයේ සිසුන් ගේ සාමාන්‍ය වයස අවුරුදු 65-70 අතර බවව දැක්වෙයි. චීනය සිය තුන්වැනි යාමයේ විශ්ව විද්‍යාල පද්ධතිය බිහි කළේ රටට සේවය කර ඉවත්වන සෙබළුන් වෙනුවෙනි. පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ද විවෘත කළේය. වර්තමානයේ රජයේ සේවකයන් ඇතුළු සෑම තරාතිරමකම වැඩිහිටියෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.

චීනයේ වැඩිහිටි උසස් අධ්‍යාපන විෂය පථය හුදෙක් අධ්‍යයනයට සීමා වී නැත. සංචාරය වෙනුවෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගැනීම එක විෂයයකි. අන්තර් ජාල වෙළඳාම, නර්තනය හෝ සංගීතය ඉගෙන ගැනීමට හැකිය. වැඩිහිටියන් වෙනුවෙන් පමණක් සීමා වූ විශ්ව විද්‍යාල රජයේ අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යයි. වැඩිහිටි සිසුන්ගෙන් සුළු සාමාජික ගාස්තුවක් අය කෙරේ. වසර 2020 වන විට චීනයේ සෑම දිස්ත‍්‍රික්කයකම වැඩිහිටියන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් ඇරඹීම චීනයේ ඉලක්කය වී ඇත.

මේවායෙන් කරන්නේ ආර්ථිකයක් හදන්නට පියවර ගැනීමය. වියපත්වන විට එම සමාජයේ ක‍්‍රියාකාරීත්වය අනුව ඇතිවන තවත් ප‍්‍රශ්නයක් පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. යැපෙන මානසිකත්වය අත්හැර අලූතින් යමක් ඉගෙන ගෙන වෘත්තියකට ඇතුලත් වුවහොත් උපයන දේ වියදම් කරන්නේ සීමා සහිතවය. ඔවුහු ඉතිරි කිරීමට යොමු වෙති. වියදම් කරන්නේ නැති සමාජයක පාරිභෝජනය අඩුය. එය නිෂ්පාදනයේ දී පරහකට සිටී. වෙළඳාම අඩු වන විට දෙයක් නිපදවීමෙන් නිෂ්පාදකයන්ට පලක් නැත. එය ආර්ථික වේගය අඩාල කරන තත්ත්වයකි.

ලෝකයේ රටවල් අවුරුදු සියය ඉක්මවා ජීවත්වන සමාජ ගොඩනගන්නට ප‍්‍රයත්නයකය. එසේ තිබිය දී ලෝක ජනගහනයේ වියපත් ජන කොටස නඩත්තු කිරීම විසි එක්වැනි සියවසේ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. හැම පැත්තකින්ම අලූතින් හිතන්නට සිදුවී ඇත. තාක්ෂණය අතින් වේගයෙන් දියුණුවන ලෝකය මෙම ප‍්‍රශ්නය සමබර කරන්නට අනුගමනය කරන වැඩ පිලිවෙල කුමක්ද?