» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/09/2020 - දේශය
සාගරික විපතක දී හදිසි ගලවා ගැනීමේ ඒකකයක්

ඉන්දියාව තෙක් ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් විය. ලක්ෂ ගණනක් නැව් සාගරය පුරා සැරි සරමින් සිටී. කන්ටේනර්, ඛනිජ තෙල් හා ගෑස් ප‍්‍රවාහනය එයින් ප‍්‍රධානය. අනතුරට පත් වූයේ විශාලතම නැවකි. ගින්න පැතිරෙන විට එහි ගබඩා කර තිබුණ මෙට්‍රි ක්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක ප‍්‍රමාණය පිටාර ගලා මහත් විනාශයක් ඇති කරන අවදානමක් තිබුණි. ඉන්දියන් සාගරය පුරා පැතිරෙන තෙල් සාගරය අපවිත‍්‍ර කරනු ඇති අතර මත්ස්‍ය සම්පත ඇතුළු සමස්ථ ජීවින් විනාශයට පත්කරන තීරණාත්මක මොහොතක් විය. ලෝකය පුරා වෙරළ තීර අපවිත‍්‍ර විය හැකි බවට අනතුරු ඇගවිණි. සාගරයට සිදුවන හානියෙන් පසු නැවත පුරුදු පරිදිජීවීන්ට හිතකර කලාපයක් හැදෙන්නට වසර තිහක දක්වා කාලයක් ගතවනු ඇති බව පරිසර විද්‍යාඥයෝ කියා සිටියහ. මෙහි බරපතලකම එයින් පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ මෙම සිදුවීම වාර්තා වූ වහා බලධාරීහු ක‍්‍රියාශීලී වී ඇත. රජයේ නිලධාරීන් හා අදාල දෙපාර්තමේන්තු මෙහයෙවා තිබේ. ගින්න නිවා අනතුර දුරු කරන්නට සමත් විය. වගකිව යුතු අංශ, නාවික, ගුවන් සහ යුධ හමුදා සෙබළුන් බලවත් කැපවීමකින් කි‍්‍රයා කළ බව අනාවරණය විය. ඉන්දියානු සහාය ද ලැබුණි. ගින්න පාලනය කරනලද නමුත් කාලගුණය හා උණුසුම් තත්ත්වය හෙයින් නැවත නැවත ගිනි ගන්නා බවක් වාර්තා විය.

ඛනිජතෙල් ප‍්‍රවාහනය කරමින් තිබුණ නැව ගලවා ගැනීමෙන් පසු, හදිසි ආපදාවක දී ක‍්‍රියාකරන අන්දම ගැන ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. එය ඉතා වැදගත්ය. මෙම ප‍්‍රයත්නය පදනම් කරගෙන අලූත් අවකාශයකට යා හැකිය. ඉන්දියන් සාගරයේ ඇතිවිය හැකි හදිසි විපත් වෙනුවෙන් කරන හදිස්සි මෙහෙයුම් ඒකකයක් ආරම්භ කරන්නට පුලූවන්කම තිබේ.

ජාත්‍යන්තර නාවික සංවිධානය පෙන්වා දෙන පරිදි මෙම වසරේ ජනවාරියේ සිට ලෝකයේ සැරි සරන සියළුම නැවි හමුවේ අලූත් පාරිසරික ප‍්‍රඥප්තියක් බලපවත්වයි. එය සමුදුර පරිසරික තත්ත්වය ආරක්ෂා කරන අරමුණ ඇතිව නැව් සමාගම් හා නැව් නිෂ්පාදනයන් සමග එකගතාවයක් බව පළවෙයි. එම ප‍්‍රඥප්තිය දක්වන අන්දමට නැව් ගමනේ දී ඉන්ධන කාර්යක්ෂමතාව ගැන පවා තද විමසිල්ලක් තිබේ. සල්ෆර් මුදා හරින ප‍්‍රතිශතය ගැන ද සැලකිල්ල යොමු කරයි. එවැනි නීති තිබිය දී දැවැන්ත තෙල් නැවක ගින්න හා තෙල් කාන්දුවක් ඇති කරන විනාශය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. වාර්තා දක්වන අන්දමට ලෝකයේ ප‍්‍රධාන නැව් නිෂාපාදකයෝ තිදෙනෙකි. චීනය එයින් ප‍්‍රධානය. ජපානය හා දකුණු කොරියාව යන රටවල් සාගරයේ සරන නැව් වලින් සියයට අනූවක් නිෂ්පාදනය කරන බව දැක්වෙයි. අලූතින් නිපදවන නැව් වල පරිසර ආරක්ෂාව ගැන පද්ධති දියුණු කරන නමුත් වසර විස්සක් තරම් පැරණි නැව් වල මෙම පරිසර ආරක්ෂක සාධක නැත. ඒවායෙන් අනතුරු බහුලවීමට ඉඩ තිබේ. එකී පසුබිම ව්‍යවසායක් බවට හරවා ගත හැකිය.

බටහිර හා නැගෙනහිර රටවල් යා කරන ප‍්‍රධාන නාවික සැපයුම් මාර්ගය ශ‍්‍රී ලංකාවට නුදුරින් පිහිටා තිබේ. නාවික සැතපුම් දොලහක පමණ දුරකින් බව දැක්වෙයි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි මෙම මුහුදු මාර්ගයේ වසරකට ගමන් කරන නැව් ප‍්‍රමාණය හැට දහස ඉක්මවයි. ඉන්ධන ප‍්‍රවාහනයෙහි යෙදෙන සම්පූර්ණ නැව් වලින් සියයට හැත්තෑ දෙකක් මෙම මාර්ගයේ ගමන් කරයි. කන්ටේනර් ප‍්‍රවාහනය කරන නැව් වලින් සියයට පනහක් ද ගමන් කරන්නේ ශ‍්‍රී ලංකාවට නුදුරින්ය. සෑහෙන වාසිදායක අවස්ථාවකි. කොළඹ, ත‍්‍රිකුණාමලය සහ සහ මෑතක දී ඉදිකරන ලද හම්බන්තොට වරාය රටට ඇති යටිතල පහසුකම්ය. මත්තල නවීන, ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ද තිබේ. මෙකී පහසුකම් ප‍්‍රයෝජනයට ගෙන ඉන්දියන් සාගරය ඉලක්ක කරගෙන හදිසි ගලවාගැනීමේ සේවා ඒකකයක් සේවයට යෙදවිය හැකිය. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බන්ධතා තිබේ. ඉන්දියාව, චීනය හෝ ඇමරිකාව එකතු කරගත හැකිය. එම රටවල තාක්ෂණය සහ ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් එකතු කළ පසු අන්තර්ජාතික මට්ටමේ ගලවා ගැනීමේ ඒකකයක් ස්ථාපිත කරන හැකියාවක් තිබේ.

රජයට මෙම ගලවා ගැනීමේ ඒකකය ස්ථාපිත කළ හැකිය. පුද්ගලික අංශයට කරගෙන යන්නට අවසර දෙන්නට ද පුලූවන්කමක් තිබේ. ජාතයන්තර රක්ෂණ සමාගම් මෙවැනි අලූත් අදහසකට එකගවනු නිසැකය. ඉන්ධන හා ගෑස් ප‍්‍රවාහනය කරන නැව් වල රක්ෂණ පිරිවැය ඉහළය. අනතුරක දී ගෙවන වන්දිය විශාල එකකි. නොබෝදා අනතුරට පත් වූ නැව වෙනුවෙන් ගෙවන්නට සිදුවන විශාල වන්දිය සලකන විට හදිසි ගලවා ගැනීමේ ඒකකයකින් විශාල වාසියක් සිදුවෙයි. නැවක් මුහුණ පාන විපතක දී පළමුවෙන් අහසින් සොයා බලයි. අනතුරුව මුහුදු යාත‍්‍රා යෙදවේ. නාවිකයන් ගලවා ගැනීම හා ප‍්‍රවාහනය කරන දේ ආරක්ෂා කරගැනීම සෑහෙන වගකීමක් සහිතව කරගෙන යා හැකිය.

ඉන්දියන් සාගරයේ කාර්ය බහුල මුහුදු මාර්ගයේ සිට ළගම රට ශ‍්‍රී ලංකාවයි. ඉන්දියානු වරායකට ගමන් කරන්නට පැය විස්සක සිට පැය තිස් දෙකක් පමණ ගත වන බව දැක්වෙයි. ශ‍්‍රී ලංකාව පිහිටා ඇත්තේ පැය අටක පමණ මුහුදු ගමනකට නුදුරින්ය. මුහුදු මාර්ගයේ ගමන් කරන නැව් ප‍්‍රමාණය සහ අනෙක් වරායකට වඩා ළගින් පිහිටා තිබීම හදිසි ගලවා ගැනීමේ ඒකකයක් පිහිටුවීමේ දී අප්‍රමාණ වාසියකි.

නාවික අනතුරු සම්බන්ධ විශේෂඥයන්, උපකරණ, ඩ්‍රෝන, ටග්, හා බෝට්ටු පමණක් නොව ගුවන් පහසුකම් ද සහිතව මෙම අයෝජනය බරපතල එකකි. ඉන්දියානු සාගරයේ ගමන් කරන නැව් වලට සහායවීම ව්‍යාපාරයක් වනු ඇත. වෙළ`ද නැව් වල සේවය කරන පිරිස සිමිතය. විශේෂයෙන් තෙල් ප‍්‍රවාහනයේ නිරත නැව් වල කාර්ය මණ්ඩලය කුඩාය. හදිසි අවස්ථාවක දී බාහිර උපකාර අනිවාර්යෙන් අවශ්‍ය කෙරේ. තාක්ෂණය ඉතා දියුණු වී ඇති අතර මනා සන්නිවේදන පහසුකම් සහිත වුවහොත් ලෝකයේ ඕනෑම තැනකින් පලපුරුදු කණ්ඩායම් වහා කැදවන මධ්‍යස්ථාන වශයෙන් ක‍්‍රියා කරන්නට ද හැකියාවක් තිබේ.