» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/12/2019 - දේශය
අහස සිසාරා වෝලොකොප්ටර් සැරිසරන දිනය

වසර 2020 උදාව සමග ලෝකයේ විශාල පරිවර්තන සිදුවෙමින් පවතී. තාක්ෂණය දියුණුවන තරම මවිත කරන සුළුය. වෛද්‍ය විද්‍යාව ද අලූත් සොයා ගැනීම් වල නිරත වෙමින් සිටී. කෘතීම බුද්ධිය එනම් මිනිසා තරම් හිතන්නට පුුවන්කමක් ඇති පරිගණක ඉතාම නුදුරු කාලයේ දී භාවිතාවට එනු ඇතැයි සැලකේ. වෛද්‍ය විද්‍යාව තහවුරු කරන අන්දමට මනුෂ්‍ය ශරීරයේ සියුළු අවයව කෘතීමව නිපදවිය හැකි වනු ඇති අතර සාමාන්‍ය ආයු කාලය වඩා දීර්ඝ කළ හැකි වනු ඇත. කෘතීම බුද්ධියෙන් පාලනය වන වඩා වැඩි ආයු කාලයක් සහිත මනුෂ්‍ය ප‍්‍රජාවගේ අභිප‍්‍රාය කුමක් විය හැකිද? එය ප‍්‍රවාහන අංශයෙන් පවතින වෙනස්කම් වලින් පැහැදිලි වෙමින් තිබේ. ගුවන් තොටුපොලකට ගොස් ටිකට් පතක් ගෙන අහසින් ගමනාන්තයකට ළගාවීම වෙනුවට තමන්ගේ නිවසේ සිට කාර්යාලයට හෝ වෙළද පොලට සැහැල්ලූ යානයකින් ගමන් කිරීමේ අවස්ථාවව උදා වෙමින් තිබේ. ජර්මානු සමාගමක් පසුගිය දා සිංගප්පූරුවට පැමිණි අතර එම සමාගම වොලෝකොප්ටරයක ස්වභාවය පැහැදිලි කළහ.

ගුවනින් සැරි සරන්නට අලූත් මෙවලමක්

වොලොකොප්ටර් යන වචනය අලූත් එකකි. සිංගප්පූරුවට පැමිණි මෙම කුඩා අහස් යාත‍්‍රා විශේෂය සාර්ථකව අත්හදා බලා තිබේ. එය සාමාන්‍ය හෙලිකොප්ටරයක ආකාරයේ යානයක් නොවේ. ඩ්‍රෝන යාත‍්‍රා හා සමාන එහෙත් එයට වඩා වැඩි දියුණු කළ කුඩා යාත‍්‍රා විශශේෂයකි. දෙදෙනෙකුට සහ ඔවුන්ගේ ගමන් මළු මෙහි රැගෙන යා හැකි බව දැක්වෙයි. එක් අයෙකු ගුවන් නියමුවා ලෙස ක‍්‍රියා කළහොත් මෙම වෝලොකොප්ටර් වල ගමන එක මගියෙකුට සීමා වෙයි. නමුත් ජර්මන් සමාගම පෙන්වා දෙන පරිදි යානය සම්පූර්ණයෙන් ස්වයංක‍්‍රීයව පාලනය කරන තත්ත්වයට පත් කළ හැකිය. මගියා කලින් දෙන උපදෙස් අනුස සියයට සියයක් නිරවද්‍යව ගමන් කරනු ඇති අතර පැයකට කිලෝ මීටර් එකසිය දහයක වේගයකින් කිලෝ මීටර් තිහක් දක්වා දුරක් ගමන් කළ හැකිය. විදුලිය බලයෙන් ධාවනය කිරීම මෙහි ඇති විශේෂත්වයකි. අධික වාහන තදබදයක් සහිත නගරවල ජීවත්වන ජනී ජනයා අතරින් කොටසකට මෙම වොලෝකොප්ටරය ප‍්‍රයෝජනවත් වනු ඇත. සාමාන්‍ය පොදු ප‍්‍රවාහන පිරිවැය මෙන් දෙගුණක් පිරිවැය වශයෙන් වියදම් වන නමුත් එය දැන් භාවිතයේ පවතින ඉතාම සුඛෝපභෝගීලිමොනිස් රථයකට වඩා අඩු පිරිවැයක් බව සදහන්ය.

බොයිං ගුවන් යානා සමාගම සහ ජර්මනියේ ස්පෝර්ට්ස් කාර් නිපදවන සමාගමක් එකතු වී මෙම වොලෝකොප්ටරය නිපදවා ඇත. එය සම්පූර්ණයෙන්ම ඉක්මන්, ආරක්ෂාකාරී, විශ්වාසනීය සහ පරිසර හිතකාමී ප‍්‍රවාහන මාර්ගයක් වනු ඇති අතර සාමාන්‍ය ජනතාවට දරාගත හැකි වියදමකින් භාවිතාවට ගැනෙනු ඇති බව දැක්වෙයි.

එරෙහිව නැගෙන අදහස් ද අවධානයට ගැනේ

වොලෝකොප්ටරය ගැන හො`ද සහ නරක අදහස් විවිධ පැති වලින් මතු වෙමින් තිබේ. ප‍්‍රධානම කාරණය එයින් නැගෙන ශබ්ධයයි. නිවසක වහල මතට හෝ ආසන්න තැනකින් ගුවනට නංවන හෝ පහත් කරන අවස්ථාවක කැගෙන ශබ්ධ ගැටළුකාරී විය හැකිය. යාත‍්‍රා ප‍්‍රමාණය බහුල වන අවස්ථාවක දී ඒවායේ ශබ්ධය පමණක් නොව අනතුරු ද අලූත් අත්දැකීමක් විය හැකි අතර පාලනය කරනු සදහා අලූත් නීති හා රෙගුලාසි අවශ්‍ය විය හැකි බව විචාරකයෝ සදහන් කර තිබේ.

වසර 2050 වන විට ලෝකයේ ජනගහනයෙන් සියයට 68 ක් නාගරිකව ජීවත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වයි. එය දැනට පවතින සියයට පනස් පහක ප‍්‍රතිශතය අභිබවායෑමකි. මාර්ග තදබදය වැඩි අවස්ථාවල ඇති හැකි ජන කොටස් ගමනට පහසු ප‍්‍රවාහන මාධ්‍ය වශයෙන් වොලෝකොප්ටරය භාවිතා කළහොත් අහස දෙස බලන වැසියෙකුට මැවෙන දර්ශනය යහපත් එකක් නොවනු ඇති බව ද ප‍්‍රකාශ වෙයි. කෙසේ නමුත් ජර්මනිය, ඩුබායි හා පින්ලන්තයේ දැනට කර ඇති ප‍්‍රදර්ශන ගුවන් චාරිකා සාර්ථක වී ඇති අතර සිංගප්පූරුව එයට අලූතින්ම එකතු වී තිබේ. තවත් වසර පහක් අවසන් වනන විට මෙම නගර වල ධනවත් පුද්ගලයෝ වොලෝකොප්ටරයට නැඹුරුවනු ඇති අතර ඉදිරි දශක දෙක තුළ වානිජ ගමන් අරඹනු ඇති බව ගණන් බලා තිබේ. ශබ්ධය හා පරිසරයේ අලංකාරයට බාධා විය හැකි නමුත් විදුලියෙන් බලගැන්වෙන හෙයින් මෙම යානා පරිසර මිතුරු යෝජනාවක් විය හැකිය.

දිග කාලයක පර්යේෂණ වලින් ලැබුණ ප‍්‍රතිඵල

ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන පරිදි වසර දහයකට පමණ කලින් සිට ඩ්‍රෝන ආකාරයේ සැහැල්ලූ යානා පුද්ගලික පරිහරණයට එළැඹෙනු ඇති බවට අනාවැකි පළ වී තිබේ. සාර්ථක සේ අත්හදා බැලෙන බව අවධාරණය වී ඇත. ජර්මනියේ වාර්තා පෙන්වා දෙන පරිදි මෙම යානා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ඉමහත් පිටිවහලක් වීමට ඉඩ කඩ තිබේ. හදිසි විපතක් සිදුවන අවස්ථාවක තත්ත්වය කලමණාකරනය කරගතත හැකි වෛද්‍යවරයෙකු ඉක්මනින් යොමු කරන්නට වොලෝකොප්ටරය භාවිතා කළ හැකිය. අනෙක් පැත්තට සලකා බලනවිට හදිසි අනතුරකින් රෝහල් ගත කළයුතු රෝගියෙකු වහා කැටුව යාමට ඉතා ප‍්‍රයෝජනවත්ය. ඖෂධ සහිතව ප‍්‍රථමාධාර ඒකකයක් වශයෙන් භාවිතා කළහොත් අධික වාහන තදබදයක් සහිත නගරයකට ලැබෙන ප‍්‍රයෝජනය ඉමහත්ය.

සම්පූර්ණ ස්වයංක‍්‍රීය හැසිරවීමේ පද්ධතිය භාවිතා කිරීමසදහා පස්වන පරම්පරාවේ සන්නිවේදනය අවශ්‍ය වන අතර ලෝකයේ සියළුම රටවල්පාහේ සන්නිවේදනය, කෘතීම බුද්ධිය හා අනාගත ප‍්‍රවාහන අවශතා සලකා බලා ඉතා වේගයෙන් සන්නිවේදනයේ අලූත් ව්‍යුහය තුළට ඇතුලත් වෙමින් පවතිනබව ද පෙන්වා දිය යුතුය.