» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/06/2025 - ඉරිදා ලංකාදීප
ජන පහසුකරණය අරමුණු කරගත් ප්‍රාදේශීය ආණ්ඩු

ආණ්ඩුවක් අවශ්‍ය කරන්නේ ඇයි සහ ආණ්ඩුකරණයක වැදගත්කම පළමුවෙන් අවබෝධ කරගත යුතුය. ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය රටක පවතින ආණ්ඩු ක්‍රමය වශයෙන් සාමාන්‍යයෙන් සැලකේ. එවැනි ආණ්ඩු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ක්‍රියාත්මකය. විවිධ ජන සමාජ ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කරගත හැකි පරිදි එහි අභ්‍යන්තර වෙනස්කම් ඇති කරගෙන තිබේ. ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක, පරමාධිපත්‍ය බලය එම රාජ්‍යයේ පුරවැසියන් සතුය. බහුතරය විසින් ඇති කරන මත අනුව ආණ්ඩුකරණය සිදුවිය යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන්, න්‍යාය සකස්කරන බුද්ධිමතුන් විසින් ව්‍යවස්ථානුකූල ක්‍රමය සකස් කිරීමේ දී අපේක්ෂා කරන ධාරාව කෙසේ වෙතත් මහජනතාවගෙන් බලය ලබාගන්නා ආණ්ඩු හැසිරෙන ආකාරය වෙනස්ය. බලය ලැබුණ පසු අභිමතය අනුව කටයුතු සිදුවේ. එය සුදුසු නැත.

පසුගිය දශක ගණන තුළ මෙරට ආණ්ඩුකරණය සිදුවූ ආකාරය ගැන අත් දැකීම් තිබේ. එහි පාඩම් අනුව ආණ්ඩුව හා ක්‍රමය වඩාත් සාධාරණ, යුක්ති සහගත හා විනිවිද පෙනෙන ආකාරයකට පත් කිරීම සඳහා අණ පණත් විශාල ප්‍රමාණයක් හඳුන්වා දී ඇත. ජනතා නියෝජිතයන් පත්කරගන්නා පිලිවෙල සංශෝධනය කරගෙන තිබේ. දේශපාලන පක්ෂවල විනය ඇති කිරීමට සහ අපේක්ෂකයන් ගේ යෝග්‍යත්වය වෙනුවෙන් නීති සම්මත කරගෙන ඇත. මැතිවරණයක දී ධනය හසුරුවන අන්දම පාලනය කරන පියවර ගෙන ඇත. බලය අසීමාන්තිකව භාවිතා කිරීම අවහිර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගණනාවකි. කෙසේ වෙතත් ආණ්ඩුවල හැසිරීම සලකාබලා අවසානයේ දී මහජන නියෝජිතයන්ට ඉහළින් ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම දක්වා ක්‍රමය විකාශනය වී තිබේ. මෙම සෑම කටයුත්තක් අවසානයේ දී පවා අඩු ලුහුඬුකම් පවතින බව ජන සමාජය තුළ පවතින ආකල්ප සනාථ කරයි.

නූතන යුගයේ දී ජනතාව ජනමාධ්‍යයන්ගෙන් තොරතුරු අපේක්ෂා කරන්නේ නැත. සමාජ මාධ්‍යයේ අවකාශය තුළ පුරවැසි මාධ්‍යකරණයක් තිබේ. සෑම පුරවැසියෙකුම තමන් දන්නා තොරතුරු සමාජයට මුදාහරිමින් සිටිති. රාජ්‍යයක පදනම වූ තොරතුරු අයිතිය බිඳවැටී ඇත. ආණ්ඩුව, ආණ්ඩුවේ සාමාජිකයන්, ආණ්ඩුකරණයට සම්බන්ධවන නිලධාරීන් ඇතුළු පාර්ශව තද විවේචනයකට පත්වෙමින් තිබේ. සමාජ මාධ්‍ය ආක්‍රමණය සමග දේශපාලන නායකයන් කෙරෙහි විශ්වාසය ඉක්මනින් බිඳ වැටෙන අතර ප්‍රතිරූප ඉතාම පහසුවෙන් විනාශ වේ. මෙවැනි පසුබිමක පැරණි ආකාරයේ සම්ප්‍රදායික ආණ්ඩුකරණය තව දුරටත් වලංගු නොවන බව පෙන්වා දිය යුතුය.

බලය කේන්ද්‍රකරගත් උපරිතලයේ ආණ්ඩුකරණය ප්‍රායෝගික නැත. ලෝකයේ රටවල් බලය බෙදන ක්‍රමවේද අත්හදා බලමින් සිටී. පුරවැසියන්ට අවශ්‍ය දේ පොදුවේ තීන්දු කිරීම වෙනුවට ඔවුන් ජීවත්වන කලාපය අනුව ඔවුන්ට අවශ්‍ය දේ තීන්දු කරගත හැකි පරිදි බලය විමධ්‍යගත කරමින් තිබේ. එහි දී කේන්ද්‍රීය ආණ්ඩුව කුඩා ඒකකයක් බවට පත්වන අතර ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සහ මුලික විධිවිධාන පමණක් පැවැරේ. ප්‍රාදේශීය පාලන ඒකක පුරවැසියන්ට එදිනෙදා පහසුව සැපයීම සඳහා බලාත්මක වෙමින් තිබේ. ජනතාවට සමීප පහලම ඒකකය තීන්දු ගත හැකි ජන කළමණාකරණ ඒකකයක හැඩයක් ගනිමින් තිබෙන බව සඳහන් කළ යුතුය.

වියට්නාමය හොඳ උදාහරණයකි. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය පසුගිය දා යෝජනා කරන ලද අතර එහි දී ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරන පියවර හඳුන්වා දී ඇත. පුරවැසියන්ට පහසු පරිපාලනය එහි දී අපේක්ෂා කෙරේ. ආර්ථිකයේ කාර්යක්ෂමතාව, පරිපාලන රෙගුලාසි එකිනෙක ව්‍යුහ අතර ගැටීම් වැලැක්වීම, ඉහළ ආණ්ඩුව හා පහලම තලයේ වශයෙන් ඒකක දෙකක් පමණක් පවත්වාගැනීම මෙම සංශෝධන අතර ඇත. සමාජවාදී පාලන ව්‍යුහයක සිට වෙළඳ පොල ඉලක්ක කරගත් සංවර්ධන යුගයකට ඇතුළුවීමේ දී ආර්ථිකයට අනවශ්‍ය බාධා නොකරන ක්‍රමවේද ඉලක්ක කර ඇත. ප්‍රාදේශීය පරිපාලන ඒකක 696 ක සිට තුන් සිය ගණනකට සීමා කෙරේ. නගර ගණන හැට තුනක සිට තිස් හතර දක්වා අඩුකරන බව දැක්වේ. පැරණි ඒකක එකතුකර අලුත් සිතියමක් සකස්වන අතර එහි දී විශාල රාජ්‍ය සේවය ද කුඩා පරිපාලන අංශයක් බවට පත්වේ. හැත්තෑ දහසක් පමණ රජයේ සේවකයන් අනවශ්‍ය බව ගණන් බලා ඇත. ඔවුන්ට පුද්ගලික අංශයේ අවස්ථා ලැබේ. රජයේ සේවය හා සමානව අධිකරණය ද තල හතරක සිට තුනක් දක්වා වෙනස් කරන යෝජනා ඇතුලත්ය. නීතිය හා විධිවිධාන පහලම තලයට විමධ්‍යගත කිරීම එයින් අපේක්ෂා කරයි. වියට්නාමය පුරවැසියන්ට දැනෙන අලුත් පරිපාලන රටාවක් කෙරෙහි විශ්වාස කරන බව මෙම ව්‍යවස්ථා සංශෝධනය දක්වයි.

බලය පහලම ඒකකයට ලැබෙන අතර එම ඒකකයට ධනය උත්පාදනය කරන, ආයෝජන හසුරුවන බලය ද පිරිනැමීම තවත් රටවල් ගණනාවක ක්‍රමවේදය වී ඇත. නෝර්වේ හි ප්‍රාදේශීය පාලන ඒකකයට එම පලාතේ ජල විදුලිය නිෂ්පාදන බලාගාරයේ අයිතිය තිබේ. වැඩිම විදුලිය නිෂ්පාදනය සිදුකරන බලාගාරය රොගගෑන්ඩ් ප්‍රාන්තයට අයත්ය. ඇමරිකාවේ ද ආර්ථික මර්මස්ථාන අතරින් කොටසක් ප්‍රාන්ත මට්ටමට පවරා ඇත. වරාය ඉදිකිරීම හා මෙහෙයුම් අදාල ප්‍රාදේශීය ප්‍රාන්තයට අයත්ය. නිව්යෝක් හා නිව්ජර්සි ප්‍රාන්ත එකතු වී පිහිටුවන සමාගමකින් එහි වරාය පරිපාලනය කෙරේ. පොලිස්, අධිකරණ, පාසල් පාලනය සඳහා බලය ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් හිමිකරගෙන තිබේ. ප්‍රාන්ත ඡන්දවල දී එම ආයතනවල ප්‍රධානීහු පවා ඡන්දයෙන් ් පත්කරගනිති. ඉන්දියාවේ ප්‍රාන්ත පමණක් නොව විශේෂිත බලය ඇති නගර එනම් නවදිල්ලිය වැනි ස්ථානවලට මධ්‍යම රජය හා සමාන බලතල තිබේ. පංචායත් වැනි ප්‍රාදේශීය ඒකක ඇත. මගී ප්‍රවාහනය, විදුලිය බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවා ඒවායෙන් සිදුකෙරේ. මධ්‍යම රජයට තීන්දුගැනීමේ අවශ්‍යතාවයක් නැත. ආදායම් එකතුකරන, මහජන අවශ්‍යතා සඳහා යොදවන අතර අවශ්‍යනම් දෙස් විදෙස් ණය ගැනීමේ අයිතිය ද පැවැරී තිබේ.

පැරණි රාමුවෙන් ගැලවී පුරවැසි හිතකාමී පාලනයකට පරිවර්තනය වන අවශ්‍යතාවයක් අපට තිබේ. ආණ්ඩු පත්කරන පුරවැසියන් ඉතා ඉක්මනින් ඒවායේ අකාර්යක්ෂමතාව හා දුබලතැන් හඳුනාගනී. ආණ්ඩුවේ කටයුතු ඉක්මනින් එපාවෙන බව පෙනේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී ඇති අතර ඒවායෙන් බිඳී ගොඩනැගුණ අලුත් බලවේග පවා පැත්තකට තල්ලු කළ ජනතාව වත්මන් ආණ්ඩුවට අවස්ථාව ලබාදුන් බව අමතක කළ යුතු නැත. ආණ්ඩුව බලයට පත් කරන මොහොතේ තිබුණ, දුබලතා වෙනස්කර රට වහාම අලුත් කරන බවට තිබුණ විශ්වාසය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ. එහෙත් ක්‍රමය තුළ ඇති ගතානුගතික යාන්ත්‍රණ පහසුවෙන් වෙනස් කළ නොහැක. මුහුණු වෙනස්කරන ඉක්මනින් කාර්යක්ෂමතාව ඇති නොකෙරේ. ඒවායේ අභ්‍යන්තර ගැටුම්, පරිපාලන ඒකකවල බලපරාසය, තීන්දුගැනීමේ හැකියාව, නිලධාරීන්ගේ වපරිසය අනුව ආණ්ඩුවකට කළ හැකි දේ සහ කළනොහැකි දේ අතර සීමාව දැකගැනීමට ලැබේ.

වේගවත් පරිවර්තනයක් සඳහා ජවය අවශ්‍ය කෙරේ. සිස්ටම් වෙනස් කළ යුතුවේ. නවීන ක්‍රමවේද භාවිතා කළ යුතුය. අධිරාජ්‍යවාදීන් අඳින ලද රේඛා අනුව පලාත් හෝ දිස්ත්‍රික්ක තව දුරටත් වලංගු නැත. ක්‍රමයෙහි දුබලතා සලකා බලා පලාත් සභා ක්‍රමයක් ඇතිකරන ලද අතර ආණ්ඩුව, පලාත් සභා, පලාත් පාලන ආයතන හා ඒවා අතර ඉහළින්ම තබන විධායක ජනාධිපති ධුරයකින් පවා රට තුළ පුරවැසියන් ඉල්ලන පහසුව ඇති කළ නොහැකි වී තිබේ.

පරිපාලනයට විශාල වියදමක් දරන විශාල රාජ්‍ය සේවයක්, දැවැන්ත ආණ්ඩුකරණයක් සඳහා බදු ගෙවන්නට පුරවැසියන්ට සිදුවී ඇත. මෙම රාමුව වෙනස් කිරීම අවශ්‍යය. ජන පහසුකරණය අරමුණු කරගත් සුනම්‍ය පරිපාලන ඒකක අවශ්‍ය කෙරේ. ඒවායේ ධාරිතාවය වැඩි කළ යුතුය.දක්ෂ නිලධාරීන් යොදවා තීරණ ගන්නා පසුබිම සකස් කළ හැකිය. මැති ඇමැති හෝ නිලධාරීන් වෙනුවට පුරවැසියන් තීරණ ගන්නා ප්‍රාදේශීය පරිපාලන ඒකකය තුළ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරගත හැකි සමාජයක් ජනතාවට නිර්මාණය කරගත හැකිවේ.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.