රට ගොඩනැගෙන අතර එහි දී අලුත් ධනය අවශ්‍යය. එහි දී විදේශ ආයෝජන වැදගත්ය. විනිමය සංචිත ඉහළ යන අතර ආර්ථිකය ප්‍රසාරණය වේ. විදේශ ආයෝජන දිනාගැනීමට ලෝකයේ රටවල් අතර තියුණු තරඟකාරීත්වයක් ඇත. විවිධ දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කරති. ඒවායේ වාසි අනුව ආයෝජකයන් තීන්දු ගනිමින් සිටිති. බැහැර ආයෝජකයෝ ඉහළ ලාභ අපේක්ෂා කරති. යෙදවීම්වල සුරක්ෂිතභාවය කෙරෙහි සැලකිලිමත්වෙති. ඉහළ ලාභ සහ වැඩිම පහසුකම් සහිත රටවල් ලෝකයේ ප්‍රධාන පෙලේ සමාගම්වල වැඩි අවධානයට ලක්වේ.
ආයෝජන ගෙන්වා ගැනීම අරමුණු කරගෙන ආණ්ඩු අනුගමනය කරන ක්‍රම ගැන විවිධ මත තිබේ. ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කළ සහන තවත් ආණ්ඩුවක දර්ශනයට ගැලපෙන්නේ නැත. ආණ්ඩු වෙනස් වූ පසු ප්‍රශ්න කරන බව පෙනේ. එයින් ඇතිකරන සමාජ සහ දේශපාලන ව්‍යුහය ඉතාම සංකීර්ණය. පසුගිය ආණ්ඩුවල ඇතැම් තීරණ සම්බන්ධයෙන් වගකිවයුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට චෝදනා එල්ලකර තිබේ. මේවායේ ඇත්ත පමණක් නොව නැත්ත ද ඇත. අතිශයෝක්තිය බහුලය. ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ප්‍රචාරය කරන චෝදනා බලයට පැමිණි පසු නීතිය ක්‍රියාත්මක කරයි. මෑත සිද්ධි සම්බන්ධව දැනට කරන පරීක්ෂණ මෙම අභ්‍යන්තරයේ කොටසකි. ආයෝජන අවශ්‍යතාව සලකා එම මොහොතට ගැලපෙන සේ ගන්නා තීන්දු ඊළඟ ආණ්ඩුවකින් බරපතල ලෙස ප්‍රශ්න කිරීම, සුදුසු ද යන්න සාකච්ඡා කළ යුතුය.
ආයෝජන ගෙන්වා ගැනීම ඇති තරඟය ඉදිරියේ සෑම රටක්ම එකිනෙකට වෙනස් සහන ප්‍රකාශයට පත් කරයි. ඇතැම් රටවල් ඉඩම් පවරාදෙන අතර කම්කරු හෝ වෙනත් නීති ලිහිල් කෙරේ. රේගු මැදිහත්වීම් අවම කරන අතර ව්‍යාපාර නිදහස ඇති කරන අවස්ථා තිබේ. ආයෝජන සඳහා කිසිම බාධාවක් නැති වෙනම කලාප ද සමහර රටවල් සංවර්ධනය කර ඇත. ශ්‍රී ලංකාව 1978 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා නිදහස් වෙළඳ කලාපය පිහිටුවන ලද අතර ඒවායේ දී ආයෝජකයන් සඳහා විශේෂ අවස්ථා ඇති කළේය. ව්‍යවසායකත්වයට පැන නැගෙන බාධා අවම කිරීමට ද කටයුතු කර තිබුණි. මෙම පහසුකම් යටතේ ධනය ආයෝජනය කළ සමාගම් ශ්‍රී ලාංකිකයන්ට රුකී රක්ෂා සපයන ලද අතර ඒවායේ කටයුතු විහිදෙන ආකාරය අනුව ආර්ථිකයට අස්වැසිල්ලක් ලැබිණ. ක්‍රියාත්මකභාවය, අතරමැදියන් හෝ පෙළඹවීම් ගැන චෝදනා තිබේ. සාපේක්ෂව වඩාත් ප්‍රතිපලදායක පැතිගැන නිරවුල්ව තීරණය කිරීම වැදගත්ය.
විශාල සමාගම් රටක ආයෝජනය කරන අතර ඒවායේ නවතම ක්‍රමවේද සහ තාක්ෂණික අංශ රටට සැලකිය යුතු පිටිවහලකි. ආයෝජන ගෙන්වා ගැනීමට පවතින තරඟය තුළ ඇතැම් ආර්ථික කලාප විශ්වාස කළ නොහැකි තීරණ ප්‍රකාශයට පත් කර තිබේ. ආයෝජන දිරිගන්වන ඉන්දියානු සැලැස්ම අනුව ආයෝජකයාට අවශ්‍ය ධනය පවා සම්පාදනය කෙරේ. ඇමරිකාව ද ආයෝජන වැඩිකරගැනීමට සැලසුම් ඇත. මෙතෙක් අවහිර කර තිබුණ තෙල් කැනීම් සඳහා අලුතින් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත. පරිසර සාධක සලකා ලෝකයේ විරුද්ධ නමුත් ඇමරිකාව සිය තීරණය අනුම කටයුතු කරමින් සිටී. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, බ්‍රසීලය ආර්ජන්ටිනාව, තුර්කිය, වියට්නාමය ඇතුළු රටවල් ආයෝජන ආකර්ශනයය කරගත හැකි ආකාරයට පරිපාලන ආකෘති ප්‍රතිසංස්කරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය පරාජයට පත් දේශපාලනඥයන් අනුගමනය කළ ආයෝජන සහන සහ ඒවායේ ක්‍රමවේද ප්‍රශ්න කරන අවස්ථා තිබේ. ලෝකයේ කිසිම රටක ස්ථිර ක්‍රමවේද නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද අනුව අනන්‍ය ප්‍රතිපත්ති සකස් කරගත යුතුවේ. මෙරට ඉදිකෙරුණු තරු හෝටල්, ප්‍රධාන පෙලේ ව්‍යාපාර හා අපනයන සැකසුම් කර්මාන්ත සඳහා පසුගිය ආණ්ඩු විවිධ සහන අනුගමනය කර ඇත. ආයෝජකයන්ට ඉඩම් පැවැරීම, බදු සහන, උපකරණ ගෙන්වීම වැනි අංශ සඳහා ඉක්මන් ක්‍රමවේද අනුමතකර තිබේ. ඒවා සාමුහික තීන්දු වන අතර යහපත හෝ අයහපත සාපේක්ෂය. ගන්නා තීරණ සියයට සියයක් සාර්ථක වෙන්නේ නැත. අසාර්ථක තීන්දු ප්‍රශ්න කරන නමුත් සාර්ථක වූ අවස්ථා අගය නොකිරීම වරදකි. ආපසු හැරී බලන පසු ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජ තත්ත්වයන් හි ඉදිරියට පැමිණ තිබේ. අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල තොරතුරු ඒ බව සනාථ කරයි. අසාර්ථක වූ තීරණ ප්‍රශ්න කර දූෂිත චෝදනා එල්ලකිරීමේ දී නීතියට අනුව කටයුතු කරන අවසානයේ අධෛර්යයට පත්වන අංශගැන සලකා බැලීම අවශ්‍යය. ඊළඟ ආණ්ඩුවක් ප්‍රශ්න කරන අවදානමක් තිබිය දී නිලධාරීහු තීරණ ගන්නේ නැත. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වේ. දේශපාලන උපක්‍රම බලයට පත්වීමේ දී වැදගත් විය හැකි නමුත් බලයට පත් වූ පසු ආණ්ඩුකරණයේ දී පරිනත ස්වභාවයකින් කටයුතු කළ යුතුවේ. පැරණි අවතාර සමග සටන් කරන, ඒවා පරාජය කිරීම ප්‍රධාන සැලැස්ම බවට පත්කරගත් පසු ආර්ථික සංවර්ධනය හා ආයෝජන සම්බන්ධ ඉලක්ක බිඳ වැටීම වැලැක්විය නොහැකිය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ තීරණ ගැනීම අවශ්‍යය. වරද දුටු වහා එහි දූෂිතපැති හඳුනාගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත් තීරණගත් ආකාරය හා ඒවායේ යුක්ති -යුක්තභාවය වැදගත්වේ. සංවර්ධන අභිලාශයන් ක්‍රියාත්මක කිරීමේ දී මතුවන අභියෝග සම්බන්ධයෙන් පිටතසිට නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකු බරපතල ඒවායේ ප්‍රශ්න දකින්නට ඉඩ තිබේ. අවස්ථාවෝචිතව, අවංක චේතනාවකින් ගත් තීරණ පවා පසුව අපරාධ වශයෙන් සලකා චෝදනා එල්ල කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිකරන්නට ඉඩ තිබේ. වත්මන් ආණ්ඩුව ඉතා පිරිසිදු චේතනාවකින් ගන්නා ඇතැම් තීරණ අනාගතයේ දී අධිකරණයේ නඩු කටයුත්තකට පරිවර්තනය වුවහොත් සාධාරණ නැත.
නිදහසට පසු කාලය තුළ ආකෘතිගත වූ පක්ෂ දේශපාලනය ඒවායේ අභ්‍යන්තර ගැටුම් තුළ බරපතල අසංවිධිත තත්ත්ව ඇත. ගොඩනැගුණු ක්‍රම අනුව දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට වරද පටවා පලිගැනීම බහුලය. ක්‍රමයෙන් තීව්ර වූ එම ස්වභාවය උපරිම තැනකට පැමිණ තිබේ. දූෂිත හා වංචනික සිද්ධි හුවාදක්වා කරන චෝදනා අවසානයේ දී සමාජ ප්‍රගමනයට ඇති කරන අවදානම තීරණාත්මක බව පෙන්වා දිය යුතුය ප්‍රතිවිපාක වශයෙන් තමන්ට ලැබෙන ලිපිගොනුව තවත් තැනකට යොමුකර තමන් ගැලවෙන අතර තීරණ නොගන්නා අභ්‍යන්තර පද්ධති රටක් දියුණු කිරීමේ දී බරපතල බාධාවකි. සමහර සිද්ධිවල වැරදි සොයා උපරිම දඬුවම් නියම කරන අතර සාර්ථක තීරණ අගය කරන ක්‍රමවේද අවශ්‍යය. දැනට කරුණු සිදුවන අන්දමට සියළුම තීරණ බරපතල වැරදි වන අතර ඒවා රටට මහත් විනාශයක් කරන ලද බව උපකල්පනය කර තිබේ. එම මතය සම්පූර්ණයෙන්ම පිලිගත නොහැක.
පැරණි මතිමතාන්තර පසෙක තබන අතර ආයෝජනය සඳහා විදේශ රටවල දක්ෂ ව්‍යවසායකත්ව හවුල්කරගන්නා ක්‍රමවේද වහාම දියුණු කළ යුතුය. පිටතින් ධනය උපයන ක්‍රම සීමාසහිත වූ ඵසු රජයේ වියදම් කළමණාකරණය සඳහා ජනතාවට තවත් බදු පනවන්නට සිදුවේ. පහසුවෙන් ලබාගත හැකි බදු වෙනුවට අපහසුවෙන් හෝ ආයෝජන දිනාගැනීම අවශ්‍යය. බදු බර දැනෙන්නේ පොදු ජනතාවටය. ආයෝජන හා ඒවායේ ඇතැම් දුර්මත ගැන ඇතිකරන සංවාදවල අභ්‍යන්තරය හඳුනාගෙන නිවැරදිව තීරණ ගැනීමේ වගකීමක් ජනතාවට ද තිබේ. හුදෙක් පක්ෂ නායකයා හෝ මහජන නියෝජිතයා ප්‍රකාශ කළ පමණින් විශ්වාස කළ යුතු නැත. මාධ්‍ය පවා කරුණු ගවේශණය නොකර කරන ප්‍රචාරය අවසානයේ දී පරස්පර විරෝධී තත්ත්ව නිර්මාණය කර තිබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය එහි වගකිම භාරගත යුතුය.
විදේශීය ආයෝජන ආකර්ශනය කරගත හැකි පිලිගත් ප්‍රමිති සහිත පද්ධති සකස් කළ යුතුව තිබේ. ලෝකයේ අනෙක් රටවල් කටයුතු කරන ආකාරය අවධානයට ගැනීම සුදුසුය. අධිවේගී මාර්ග, වරාය හා ගුවන් තොටුපොල පහසුකම්, තොරතුරු තාක්ෂණය සහ දේශපාලන ස්ථාවරභාවය පමණක් නොව සමස්ථ සමාජයේ එකඟතාව ද ප්‍රධාන සාධකයකි. ශ්‍රී ලංකාව දැනට සිටින ආර්ථික ස්වභාවය සහ අනාගතයේ දී ඇති විය හැකි අවදානම සලකා තීරණ ගැනීමට පසුබිමක් නිර්මාණය විය යුතු අතර එවැනි තීරණ ගෙන රට ඉහළට ඔසවා තැබීම වරදක් මහා පරිමාන දූෂිත තීරණයක් විය නොහැකි බව සිතන සමාජයක් අපට අවශ්‍යය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.
මිලින්ද මොරගොඩ
|